සීමා නිර්ණය වාර්තාව ගෙනාපු ෆයිසර්ම විරුද්ධව ඡන්දෙ දුන්නා, මැතිවරණය කල් යන්නෙ එයාලා නිසා ! - කිරිඇල්ල

පළාත් සභා මැතිවරණය  කල්යෑම සම්බන්ධයෙන් වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂය නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බව පාර්ලිමේන්තුවේ සභානායකවරයා පවසයි. අනුපාත ක්‍රමය යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය දිගින් දිගටම අවධාරණය කළත් නව ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අවධාරණය කළ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ.

 "ඉතින් මොකක්ද උනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් හිටියේ. ෆයිසර් මුස්තාපා. එයාට අලුත් ක්‍රමයට පනත සම්මත කරගන්න බැරි උනා."

නව ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද සම්මත කර ගැනීමට හැකි වූයේ එම පනතින් භාගයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පෙබරවාරි 18 සදුදා  මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

"සීමා නීර්ණය කොටස සම්මත වෙලා නැ," අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.

"පළාත් සභා ඇමැතිකම තිබ්බේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිට නෙමෙයි. ඒක ඉස්සරලාම තේරුම් ගන්න ඕන. ඒ ගොල්ලන්ට පනත ඉදිරිපත් කරලා සම්මත කරගන්න බැරිනම් අපි පළිද ?" යැයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් හරි හැටි කරුණු අධ්‍යයනය නොකර මාධ්‍ය විසින් පුවත් පළ කරන බවටත්  ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මාධ්‍ය වෙත චෝදනා කළේය.

නදීක දයා බණ්ඩාර
gossip lanka