පැහැර ගෙන ගොස් ඝාතනය කළ ගාල්ලේ ව්‍යාපාරිකයන් ගැන තවත් තොරතුරු රැසක් හෙළිවේ !

පසුගිය ජනවාරි මස 23 වෙනිදා ගාල්ල රත්ගම ප්‍රදේශයේදී පැහැර ගෙන ගොස් ඝාතනය කළ ව්‍යාපාරිකයන් වන මංජුල අසේල කුමාර සහ රසීන් චින්තක පිළිබඳව තවත් තොරතුරු රැසක් පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග හෙළි කර සිටිනවා. එදින පැහැරගෙන ගිය මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුලුස්සා දමා තිබෙන බව සිදු කළ පොලිස් විමර්ෂණ වලින් පසුගියදා හෙළිවුනා.

මෙලෙසින් ඝාතනයට ලක්වූ මංජුල අසේල කුමාර මින් පෙර පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කර තිබෙන හිටපු පොලිස් භටයෙක් බව වාර්තා වනවා. මෙම පුද්ගලයාට 2010 වසරේදි කොටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ චෝදනා එල්ල වී තිබෙන බවද එම ආරංචි මාර්ග සදහන් කරනවා. මෙම ඝාතනය පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ලබා දුන් ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් මත සිදු වූවක් බවද කියවේ. මෙම ඝාතනය පිළිබඳව 2011 වසරේදි අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවද වාර්තා වෙනවා. එම චෝදනාව සම්බන්ධයෙන් ඔහු වසර දෙකක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බවද ආරංචි මාර්ග සදහන් කරනවා.

ඝාතනයට ලක්වූ මංජුල අසේල කුමාර ගිනි අවි කුලියට ලබා දීම සහ සංචාරක හෝටල වලින් කප්පම් ලබා ගෙන තිබෙන බවද වාර්තා වනවා.

ඝාතනයට ලක්වූ සෙසු පුද්ගලයා වන රසීන් චින්තක මංකොල්ලකෑමේ චෝදනාවට ලක්ව සිටිනා පුද්ගලයෙකු බව කියවේ. ඔහු සතුව තිබී ගිනි අවි හමුව තිබෙන බවත් ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා.

එම පුද්ගලයාටද මත්ද්‍රව්‍ය, කප්පම් සහ මංකොල්ලකෑමේ චෝදනා පවතින බව වාර්තා වනවා. තවද ඝාතනයට ලක්වූ රසීන් චින්තක වාර්තා මසකට වරක් කොළඹ අපරාධ කොඨ්ඨාසයට වාර්තා කිරීමට නියමව තිබූ පුද්ගලයෙක් බවත් කියවේ.