බන්ධනාගාර ආරංචි මාර්ග අනුව ඥාණසාර හිමිට නිදහස නෑ !

අදට (04) යෙදෙන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දැනට සිර දඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලැබි නොමැති බව වාර්තා වනවා.

ජනාධිපති සමාව යටතේ නිදහස් ලබන සිරකරුවන් පිළිබඳ ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එවා තිබුණද ඊයේ (03) පස්වරුව වන තෙක් ඥාණසාර හිමියන් පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදු වී නැහැ.

ඒ අනුව උන්වහන්සේට අද දිනයේ ජනාධිපති සමාව යටතේ නිදහස හිමි නොවනු ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් සිරකරුවන් 545 දෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමි වී තිබෙනවා. එහෙත් නිදහස ලබා අද දිනයේ පිටව යාමට අවසර හිමි වන්නේ 518 දෙනෙකුට පමණයි. සෙසු පිරිස වෙනත් නඩුවලට යළි බන්ධනාගාරගත කරන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසනවා.

අද දිනයේ නිදහස ලබන පිරිස අතරට කාන්තාවන් 04 දෙනෙකු ද අයත්. වැඩිම පිරිසක් නිදහස ලබන්නේ මහර බන්ධනාගාරයෙන්. එම සංඛ්‍යාව 46ක්. ඊට අමතරව වැලිකඩ, පල්ලෙකැලේ, අගුණකොලපැලැස්ස, වාරියපොල සහ අනුරාධපුර යන බන්ධනාගාරවල සිරකරුවන් පිරිසකට ද අද දිනයේ නිදහස හිමි වනවා.

මේ අතර නිදහස් දිනය නිමිත්තෙන් අද දිනයේ බන්ධනාගාරගත සිරකරුවන් බැලීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ, පෙරවරු 9 සිට පස්වරු 4.30 දක්වායි. සිරකරුවන්ට ආහාරපාන ලබාදීමට මෙහිදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවස්ථාව ලබාදීමටයි බන්ධනාගාර බලධාරීන් කටයුතු කර ඇත්තේ. වැලිකඩ බන්ධනාගාරයේ සිටින ඇතැම් සිරකරුවන් බැලීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන් කිහිපදෙනෙකුම පෙර දින රාත‍්‍රියේ සිට බන්ධනාගාරය ඉදිරිපිට රැදී සිටියා.