තවත් ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයකුගේ වංචා දූෂණ අද එළියට !

ශ්‍රී ලාංකීය ක්‍රිකට්ලෝලීන්ගේ මහත් ආදරයට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ වංචා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවත් අද (28) දිනයේ ඒ පිළිබඳ විස්තර හෙළි කෙරෙනු ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් කරගෙන යන විමර්ශනවලදී මෙම කරුණු හෙළි වී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එම ඒකකය විසින් ක්‍රීඩකයින්ට ලබාදුන් සහන කාලය තුළ ක්‍රීඩකයින් 11 දෙනෙකු වංචා දූෂණ සම්බන්ධයෙන් බොහෝ කරුණු හෙළිදරව් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා කෙසේවෙතත් ලෝක කුසලානය සඳහා නම් කර ඇති වත්මන් සංචිතය තුළ සිටින කිසිදු ක්‍රීඩකයකුට කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවත් සඳහන් කළේය.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් වංචනිකයින් යැයි විස්වාස කිරීමට තමන් අකමැති නමුත් එවන් එක් අයකු, දෙදෙනෙකු සිටිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක් වෙමිනි.