උතුර පුරා හර්තාල්.. කලු කොඩිත් ඔසවයි !

අතුරුදහන් වූවන් විසින් විසඳුම් ඉල්ලා දියත් කරන ලද සත්‍යග්‍රහයන්ට වසර 2 ක් පිරුනද මෙතෙක් විසඳුම් නොමැති වීම හේතුවෙන් අද (25) දිනය පුරා උතුරු පලාත පුරා හර්තාලයක් දියත් කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව වව්නියාව , කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි කලු කොඩි ඔසවමින් සියලු වෙළඳසැල් වසා දමා ඇති අතර ඇතම් දිස්ත්‍රීක්කයන්හි දමිළ පාසල්හිද අද දින වසා දමා ඇත.

එමෙන්ම උතුරු පලාතේ සිදු කෙරෙන බස් ධාවනයද සම්පූරණයෙන්ම නවතා ඇති අතර පලාතෙන් පිට ප්‍රදේශවලට පමණක් බස් ධාවනය වීම හේතුවෙන් උතුරු පලාතේ එදනෙදා ගමනාගමන කටයුතු සිදු කල රජයේ සේවකයින් ඇතුලු බොහෝ පිරිසක් අපහසුතාවයන්ට පත්ව සිටියහ.

උතුරු පලාතේ අද දින රජයේ ආයතනයන්හීද රජයේ සේවකයින් බොහෝ පිරිසක් අඩුවීම හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී ඇති බවටද වාර්ථා වෙයි.

යුද්දය හේතුවෙන් අතුරු දහන් වූවන් විසින් මේ වන විට වව්නියාව, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි ආරම්භ කොට ඇති ඇති සත්‍යග්‍රහයට වසර දෙකක් ගත වුනද මෙතෙක් අතුරුදහන් වූවූන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දිනයේදී උතුරු පලාතේ හර්තාලයක් දියත් කිරීමට පියවර ගත් බවටත් ඒ සඳහා උතුරේ වෙළඳ සංගම්,බස් සංගම් ඇතුලු විවිධ වෘත්තීය සමිති සහය ලබා දුන් බවට හර්තාලය  සංවිධානය කරන ලද අතුරුදහන් වූළුන්ගේ ඥාතීන්ගේ සංගමය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ