මත් ජාවාරම් වැටලීම් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන්ට ආරක්ෂාවක් නෑ !

ගම්පොළ පොලිසිය මඟින් සිදු කළ හෙරොයින් වැටලීමක් පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිකිරීම හේතුවෙන් ගම්පොළ ප්‍රාදේශීය මාධ්‍යවේදී සුරංග රාජනායක මහතාට ප්‍රාදේශීය දේශපාලනඥයකු විසින් මරණ තර්ජන සිදුකර තිබේ.
මෙම දේශපාලඥයා විසින් දෙවන වරටද මෙකී මාධ්‍යවේදියාට මරණ තර්ජන සිදුකර ඇත්තේ පෙරේදා (06දා) සවස පොලිසිය තුළ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පළමු පැමිණිල්ල විභාගයට ගැණුනු අවස්ථාවේදීය.

පසුගියදා ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේදී සහ සාක් ගම්මානය තුළදී හෙරොයින් ග්‍රෑම් 40ක් සමඟ පුද්ගලයකු හා පාසල් සිසුවකු අත්අඩංගුවට ගැනීම මාධ්‍ය මඟින් හෙළිකර තිබිණි.

එහිදී අත්අඩංගුවට ගත් දෙදෙනා මෙම ප්‍රාදේශීය දේශපාලනඥයාගේ ඥාතීන් වන බැවින් ඔහු මෙයට උරණ වී තිබිණි.

මෙම හෙරොයින් ජාවාරමේ නිරත පවුලට විරුද්ධව ඇත්ගාල ගම්වාසීන් "කුඩු විකුණා ගම විනාශ කරනවා" යැයි ප්‍රදේශය පුරා පෝස්ටර් අලවා තම දරුවන් රැක දෙන ලෙසද ඉල්ලා තිබිණි.

ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයා ඉකුත් 4 වැනි දින ගම්පොළ පොලිසියට පැමිණ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට විරුද්ධවද තර්ජනාත්මක ස්වරූපයෙන් පොලිසිය විසින්ම කුඩු දමා මොවුන් අල්ලා ඇති බව පවසා ‍දොස් නඟමින් පිටව ගොස් තිබිණි.

රාජකාරියට බාධා කිරීමට එරෙහිව පොලිසිය පියවර නොගැනීම නිසා මෙසේ යළිත් පොලිසියට පැමිණ පොලිසිය තුළදීම පුද්ගලයන්ට තර්ජනය කිරීමට තරම් මොහු නිර්භීත වී ඇත.

ඒ පිළිබඳව පොලිස්පතිවරයාට, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා ජනාධිපති ලේකම් කාර්යාල මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට පැමිණිලි කොට ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධව කෙරෙන වාර්තා කිරීම්වලදී මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලීමක්ද කර ඇත.

ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට මාධ්‍යවේදීන්ද සක්‍රියව දායක වී ඇතත් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැන ක්‍රියා කිරීමේ වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳව ඔවුන් සිය කනගාටුව ප්‍රකාශ කරන බව ගම්පොළ මාධ්‍ය සංවිධානය ලිඛිතව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
gossip lanka