කොකේන් ගහන ඇමතිවරුන් ඉන්නවා නම් පක්ෂයෙන් අයින් කරනවා... නම් ලැයිස්තුව දෙන්න - කබීර් හෂීම්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බවට චෝදනා කළ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ව හෙළිදරව් කරන්නේ නම් තමන් ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. එවැන්නන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වා අදාළ පියවර ගැනීම පක්ෂ සභාපතිවරයා ලෙස තමන්ගේ වගකීමක් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

එහෙයින් රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ පරිදි කොකේන් භාවිතා කරන අමාත්‍යවරුන්ගේ නම් ලැයිතුවක් තමන් වෙත ලබා දෙන ලෙස කබීර් හෂීම් මහතා ඉල්ලා සිටියේය.

සමහර කැබිනට් අමාත්‍යවරුන් ද කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රංජන් රාමනායක මහතා පසුගියදා චෝදනා කළේය. විටින් විට පදනමක් ඇතිව හෝ නැතිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන රාමනායක මහතාට එවන් ප්‍රකාශ හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු දෙකක් ද පැවරී තිබේ.