කෙරවලපිටිය ටෙන්ඩරය ගැන සෙවීමට ජනපතිගෙන් කමිටුවක් !

කෙරවලපිටිය ඉදිරිකිරිමට යෝජිත මෙගාවොට් 300 ක අනාදෝලනාත්මක ස්වාභාවික වායු විදුලි බලාගාර ටෙන්ඩරය චීන සමාගාමකට ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමැති අනුකමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇත.

අදාළ විදුලි බලාගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින් එම කමිටුව පත්කර ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මතය.

එම කමිටුවට ඇමැතිවරයන්ට අමතරව, අමාත්‍යංශ ලේකම්වරයාත් කිහිපදෙනෙකු ද පත් කිරිමට ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණය කර තිබේ.

ඒ අනුව රවී කරුණානායක, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ද, මුදල් විදුබල හා බලශක්ති ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම්වරු ද එම කමිටුවට පත්කරනු ලැබ සිටිති.

සතියක කාලයක් ඇතුළත මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් කරුණු සොයා බලා තමා වෙත වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා විසින් කමිටු සාමාජිකයන් වෙත නියෝග කර තිබේ.

එල්එන්ජී බලාගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය චීන සමාගමට පැවරීමට කැබිනට් මණ්ඩලය මීට සති දෙකකට පමණ ඉහතදී තීරණය කර තිබිණි.

මේ අතර මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිය නිරීක්‍ෂණයන් අඩංගු විශේෂ වාර්තාවක් කැබිනට් මණ්ඩලය වෙත ලබාදී ඇත.