ජනාධිපතිවරණය : 'මෛත්‍රීට පොහොට්ටුවෙන් ඉඩක් නැහැ'' - වෙල්ගම

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට 'පොහොට්ටුවේ' සහය හිමි නොවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (23)දා සවස හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදීය. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

''දැන් පේන විදිහට ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආයෙත් ඉල්ලනවා. මේ අවුරුද්ද මැතිවරණ වසරක්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පහුගිය අවුරුදු හතරේ හරියට රටට දැනෙන වැඩක් කළේ නෑ. ඒත් මේ අන්තිම අවුරුද්දේ මෛත්‍රීපාල මහත්තයා වැඩ කරනවා.

දැන් මත්ද්‍රව්‍ය අල්ලනවා. පාතාලය නැති කරනවා. ඒ විදිහට බලනකොට මෛත්‍රීපාල මහත්තයා ආපහු ජනාධිපති ධුරයට ඉල්ලයි.

හැබැයි පොහොට්ටුවෙන්නම් මෛත්‍රීපාල මහත්තයාට ඉල්ලන්න දෙන්නේ නෑ. මොකද පොහොට්ටුවේ අය හිතන්නේ ඒකට රාජපක්ෂ කෙනෙක්ම දාන්නයි.

මම වුණත් සහයෝගය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාම එනවානම්. එහෙම නැතිනම් මම සහයෝගයක් දෙන්නේ නෑ”

''සිංහල අවුරුද්දට කලින් කිසි දෙයක් වෙන්නේ නෑ''

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙල්ගම මහතා එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

‘‘ සමහරුන් දැන් ඡන්ද ගැන කතා කළාට සිංහල අවුරුද්දට කලින් කිසි දෙයක් වෙන්නේ නෑ. ඊටත් වඩා දැන් ‍රටේ දේශපාලන නායකයෝ හැමෝම කතා කරන්නේ විසිවැනි සංශෝධනය ගැන. ජනතා විමුක්ති පෙරමුණ මේ සංශෝධනය ගෙනාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්නයි. ඒ සංශෝධනය සම්මත වුණොත් ඉන් පස්සෙ පත්වෙන ආණ්ඩුවේ ඉන්නේ නාමික ජනාධිපතිවරයෙක්.

මේ යෝජනාව ගැන පක්ෂ නායකයින් හැමෝම ලොකු උනන්දුවක් දක්වන්නේ ඒ නිසයි. මොකද විධායක ජනාධිපති බලතල වැරදි කෙනෙක් අතට ගියොත් වෙන්නේ කියලා ඒ අය හිතනවා.

පසුගිය අවුරුදු හතරෙදී සිදුවුණෙත් ඒකමනේ. ඒ නිසා බොහෝ දෙනා හිතන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි වීම හොඳයි කියලයි. එහෙම වුණොත් ආයෙ ජනාධිපතිවරණ වැඩක් නෑ. '' කෙසේවුවද ජාතික නිදහස් පෙරමුණේ නායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ නොහැකියාව පදනම් කර ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ නොදෙන බවයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මාලඹේ පැවති ජන හමුවකට එක්වෙමිනි.