''ශ්‍රීලනිපය පොහොට්ටුවට එක්වෙන ලකුණු'' - කුමාර වෙල්ගම කියයි

ළඟදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටුවට' එක්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඉකුත්දා හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.
''මහින්ද රාජපක්ෂ මහත්තයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයයි ඉදිරියේදී එකතු වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් එකතු වෙන ලකුණු තියෙනවා.

අපි තාමත් ශ්‍රී ලංකා එකේ. අලුතෙන් පත් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හැරුණාම අපි සේරම තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුණොත් වැඩි බලය තිබෙන්නේ පොහොට්ටුවට.

වැඩි බලය තියෙන පැත්තට හැම විටම අපේක්ෂකත්වය දිය යුතුයි. මිනිස්සු කැමැතිත් පොහොට්ටුවටයි.

ඒත් විසි වැනි සංශෝධනය සම්මත වුණොත් ඔය එකක්වත් වැඩක් නෑ. එහෙම වුණොත් ජනාධිපතිවරණයක් එන්නෙත් නෑ. මොනවා වුණත් සිංහල අවුරුද්දට කලින් නම් ඔය කිසිදෙයක් වෙන්නේ නෑ.''