පළාත් සභා ඡන්දය කල්ගියේ කාගේ වරදින් ද ? -කිරිඇල්ල කියයි

පළාත් සභා ඡන්දය කල්ගියේ එජාපයේ වරදින් නොවනබව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. 'ඉරිදා මව්බිම' පුවත්පත සමග කල සාකච්ජාවකදී ඔහු එබව සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් 'මව්බිම' මාධ්‍යවේදියා කල ප්‍රශ්න හමුවේ අමාත්‍යවරයා මෙසේ සඳහන් කර තිබේ.
'එක්සත් ජාතික පෙරමුණ' හෝ 'එක්සත් ජාතික පක්‍ෂය' ඡන්දවලට බයවෙලා නේද?

මොන ඡන්දෙටද?

පළාත් සභා 6කම කාලය ඉක්ම ගිහිල්ලත් මේ වන විට යම් කාලයක් ගතවෙලා නේද? පළාත් සභා හයේ ඡන්දයවත් තියන්නේ නැත්තේ ඔබලා ඡන්දවලට බය නිසා නේද?

අපි ඡන්දවලට බය නැහැ. අපි ජනාධිපතිවරණය දිනුවා. පාර්ලිමේන්තු මහ මැතිවරණය දිනුවා. අපි මොකටද ඡන්දවලට බය වෙන්නේ.

එතකොට පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරපු නිසාද ඊට පසු මැතිවරණ නොතියන්නේ?

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය පසු බැස්සේ ජාතික ආණ්ඩුවේ ඉන්න ගමන්ම ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් එ.ජා.ප.ය විවේචනය කිරීමයි. ආණ්ඩුවේ සමඟියක් තිබුණේ නැහැ. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. එ.ජා.ප.ය ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා.

එතකොට ඇයි එහෙනම් පළාත් සභා ඡන්දය තවදුරටත් කල්දාන්නේ?

මං ඉතාම වගකීමෙන් කියන්නම් පළාත් සභා ඡන්දය කල්ගියේ අපේ වරදින් නෙවේ. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධුරය දැරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරයෙක් මිසක් යූ.එන්.පී. අමාත්‍යවරයෙක් නොවෙයි. පැරැණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියමු කියලා මුල ඉඳලම යූ.එන්.පී. එක කියද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි, එක්සත් ජනතා නිදහස් සන්ධානයයි කිව්වා මනාප ක්‍රමයට ඡන්දය තියන්න බැහැ, අලුත් ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්දය තියමු කියලා.

නමුත් ඔබලා නියෝජනය කළේ ජාතික ආණ්ඩුවක්. එවිට නියමිත වෙලාවට ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයටත් යම් වගකීමක් තිබෙනවා නේද?

හරි. අලුත් ඡන්ද ක්‍රමයට අවශ්‍ය නම් අලුත් ක්‍රමයට ඡන්දය තියමු කියලා එක්සත් ජාතික පක්‍ෂය එකඟ වුණා. එහෙම එකඟ වෙලා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් ෆයිර් මුස්තාපා. එයාට හරියට පනත හදාගන්න බැරිවුණා. ඡන්දය කල් ගියේ ඒක නිසා. පළාත් සභා පනතේ භාගයයි සම්මත වුණේ. සීමානිර්ණය පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. සීමානිර්ණ වාර්තාව ඉදිරිපත් කරපු ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාත් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමයි තමයි ලොකුම විහිළුව. ඒක නිසා පනත පාර්ලිමේන්තුවේ හිරවෙලා තියෙන්නේ. ඒක නිසා පළාත් සභා ඡන්දය කල් දැමීමට ප්‍රධාන වගඋත්තරකරු ෆයිසර් මුස්තාපා හිටපු අමාත්‍යවරයායි. ඒගොල්ලන් පරණ ක්‍රමයට මුලදී එකඟ වුණා නම් මීට අවුරුද්දකට පමණ කලින් පළාත් සභා ඡන්දය පවත්වලා. ෆයිසර් මුස්තාපා ආමත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ වැඩේ අනාගත්තා.

මේ වෙනකොට තියෙන අලුත්ම තත්ත්වය අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් වෙන්නේ කවදාද? මේ ගැන පසුගිය දිනවලදී අමාත්‍ය මණ්ඩලයේදීත් සාකච්ඡා වුණා නේද?

කථානායකතුමා පක්‍ෂ නායක රැස්වීමක් කැඳවලා මේ ගැන තීරණයක් ගනීවි. මේ ගැන පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් සමඟ එකඟතාවකට පැමිණීමට සාකච්ඡා කරන බව අගමැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. පළාත් සභා ඡන්දය තියෙනවාද? නැද්ද කියලා තීරණයක් කරන්නේ පාර්ලිමේන්තුවයි. පක්‍ෂ නායක රැස්වීමකදී මේ ගැන තීරණයක් ගන්න බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.''