රන්ජන් දීපු නම් ලැයිස්‌තුවක්‌ නෑ - කිරිඇල්ල කියයි

කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරුන් පිළිබඳ ප්‍රකාශයක්‌ කළා මිස ඒ අයගේ නම් ලැයිස්‌තුවක්‌ රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කමිටුවට භාර නොදුන් බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22 දා) මාධ්‍යයට ප්‍රකාශ කළේය.කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවට රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය පිළිබඳ සොයා බැලීමට එක්‌සත් ජාතික පක්‍ෂය විසින් පත් කරන ලද සිවු පුද්ගල කමිටුව ඊයේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක රැස්‌විය.
ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සභාපතීත්වය දරන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න සහ නීතිඥ මහේෂ් කළුගම්පිටිය යන මහත්වරු කටයුතු කරති.

කමිටුව හමුවේ රන්ජන් රාමනායක මහතා ප්‍රකාශය කළ පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස්‌ දැක්‌වූ කිරිඇල්ල මහතා මෙසේ ද කීය.

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිතුමා අද කමිටුව හමුවේ ප්‍රකාශයක්‌ කළා. අපි මේ ප්‍රකාශය සමඟ කමිටු වාර්තාව සඳුදා වනවිට අගමැතිතුමාට භාරදෙනවා. රන්ජන් රාමනායක අපට දුන්නේ ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශයමයි. මේ ප්‍රකාශයේ සඳහන් මන්ත්‍රීවරුන්ගේ නම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්න බැහැ.

දිවයින