නීත්‍යානුකූල නොවන පත්වීම් ගැන මහින්දගේ අප්‍රසාදය !

ශ්‍රී ලංගමය තුළ චක්‍රලේඛනවලට පටහැනිව සිදු කරන වැරදි උසස්වීම් හා සුදුසුකම් ලත් සේවකයින් දේශපාලන පළිගැනීමට ලක් කිරීම පිළිබඳව,පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන බව පැවසුවද මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රජයේ ආයතනයන්හි පරිපාලන චක්‍රලේඛනවලට පටහැනිව දේශපාලන උසස්වීම් ලබාදීමත්, තවත් සේවක පිරිසක් වැඩ තහනමකට ලක් කිරීම, ස්ථාන මාරු කිරීම සහ දේශපාලන පළිගැනීම් පිළිබදව පසුගියදා ඒ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.

රියදුරු, කොන්දොස්තර හා කාර්මික සේවා තනතුරුවල සිටින සුදුසුකම් සපුරා නැති පිරිස් නීත්‍යානුකූල නොවන අයුරින් විධායක ශ්‍රේණි තනතුරු ප්‍රදානය කොට සුදුසුකම් ලත් සේවකයින් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමෙන් සිදු කරන්නේ ශ්‍රීලංගමය නැවත පාඩු ලබන තත්ත්යට පත් කිරීමක් බව හෙතෙම පවසයි. ආයතන පාඩු ලබන තත්ත්වයට පත් කොට තම ගජ මිතුරන්ට විකිණීම එජාප වැඩ පිළිවෙලේ ප්‍රධාන අංගයක් බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටී.

පසුගිය සති කිහිපය තුළ ක්‍රියාත්මක කළ උසස්වීම් හා පඩි වැඩිවීම්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 හා 03/2016 අනුව නිකුත් කර ඇති 2018 ශ්‍රීලංගම මුදල් කොට්ඨාශ චක්‍රලේඛ අංක 01 හා 2018 අංක 04 කළමනාකරණ චක්‍රලේඛ සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක් බවද හෙතෙම පවසයි.

මේ සම්බන්ධව ආණ්ඩුව මැදිහත්ව ශ්‍රීලංගමය තුළ සිදුකර ඇති වැරදි උසස්වීම් වහා නතර කරන ලෙසත්, සුදුසුකම් ලත් සේවකයින් ඔවුන්ගේ සේවා ස්ථානවලින් ඉවත් කිරීම හා ස්ථාන මාරු කිරීම් වහා අවලංගු කරන ලෙසත්, අනුමත සේවක සංඛ්‍යාවට අමතරව සිදු කරන බඳවා ගැනීම් වහා නතර කරන ලෙසත්, විපක්ෂ නායකවරයා ආණ්ඩු පක්ෂෙන් ඉල්ලා සිටී.
gossip lanka