ඉතිහාසයේ පළමු වරට මෛත්‍රී -රනිල් -මහින්ද එකමතයක !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්‍ෂනායකවරයාත් එකඟ වී ඇති මෙම අවස්ථාවේ ඔවුන්ගේ දේශපාලන අරමුණ කුමක් වුවත් ඊට සහය දැක්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.
රටේ ප්‍රධාන නායකයින් තිදෙනාගෙන්ම කැමැත්ත ලැබී ඇති මෙම කාරණය නොකෙරෙන වෙදකමක් කර නොගෙන ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විධායකය අහෝසි කිරීම ඇතුළු එකඟ විය හැකි කාරණා ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු බව ද ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණොත් එළඹෙන ජනාධිපතිවරණයට පෙර එම කටයුතු කළ හැකි බව ද හෙතෙම කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාර කාර්යාලයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ, විධායකය අහෝසි කිරිමට මෛත්‍රී, රනිල්, මහින්ද එකඟ විම සතුටට කරුණක් බවයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ මහනුවර ශ්‍රි දළදා මාළිගාව වන්දනාමාන කිරීම සහ මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

''විධායක ක්‍රමය වෙනස් කිරීම පිළිබද කතිකාව ඇති කළේ මාස ගණනකට පෙර. ජනාධිපතිතුමා,  අගමැතිතුමා මේ  මැතිවරණයට ඉදිරිපත් වුණේ මේ විධායක ක්‍රමය අහෝසි කරන පොරොන්දුව පිට.

ඇත්තටම මට සතුටුයි, අපේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මේ විධායකය වෙනස් කිරීම පිළිබඳව අද එකම ස්ථාවරයකට පැමිණ තිබීම පිළිබදව.

දැන් අපි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. මට පේන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හොඳම මාර්ගය තමයි මේ විධායක ක්‍රමය අහෝසි කිරීම.

මේ සම්බන්ධව අදහස් දක්වන මහානායක ස්වාමීන්වහන්සේලා දෙනමත් පවසන්නේ, රටට ගැලපෙන ආකාරයට යම් වෙනසක් සිදුවෙනවානම් එය විය යුතුයි කියලා".