ජනපති - අගමැති ගැටුම උග්‍රවේ : 'ජාතික ආණ්ඩු හැදුවත් කැබිනට්ටුවට 30ක් පමණයි' - ජනාධිපති

එක්සත් ජාතික පක්‍ෂය විසින් මුස්ලිම් කොංග්‍රස් එක් මන්ත්‍රීවරයෙකු සමග එක්ව ජාතික ආණ්ඩුවක් බිහිකල හොත් ඇමති ධුර කිසිවක් ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

එවන් ජාතික ආණ්ඩුවක් ජනාධිපතිවරයා පිලිනොගනු ඇති බවත් ඇමති ධුර 30 උපරිමය ලෙස තවදුරටත් සලකා කටයුතු කරනු ඇති බවත් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.
එක් මන්ත්‍රීවරයෙකු සමග හදන ජාතික ආණ්ඩුවකට තමන් විරුද්ද යයි ජනාධිපතිවරයා නිදහස් දින උත්සවය අමතමින් සදහන් කලේය.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුව හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළහොත් ඔවුනට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසු අතර එම පක්ෂයේ 15 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද නව ජාතික ආණ්ඩුවට විරුද්දව අදහස් පල කලහ.

ජාතික ආණ්ඩුව: ඇමති මණ්ඩලය වැඩි කිරීමට නොවේ!

කෙසේවුවද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසන්නේ, ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නොවන බවයි.

ඇය මෙම අදහස් පළ කළේ බලංගොඩ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

ඒ අතර රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්ෂ ආණ්ඩුවේ කාර්ය භාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බවයි. 03දා ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන්වේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කර සිටියි.

සතිඅන්තයේ දී අරලියගහ මන්දියේ පැවති ගම්පෙරළිය සහ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන් යළි ආරම්භ කිරිමේ දී වික්‍රමසිංහ මහතා මෙම විවෘත ආරාධනාව කළේය.

ජාතික ආණ්ඩු යෝජනාවට TNA සහයක් නැහැ !

කෙසේවුවද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමල ජාතික සන්ධානය (TNA) පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සහ කරන බවත් ඊට තම පක්ෂය මුළුමනින්ම විරුද්ධ බවත් ය.

යාපනයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා එබව සදහන් කළේය.

පසුගිය වතාවේද මෙම යෝජනාවට තම සන්ධානය විරුද්ද වූ බවත් මෙවරද ගෙන එන්නේ ඇමති ධුර වැඩි කර ගැනීමට නම් මෙවරද විරුද්ද වන බවත් ඔහු එහිදී කියා සිටියේය.

ඒ අතර දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. සරවනබවන් මහතා 'මව්බිම' පුවත්පතට පවසා ඇත්තේ, මේ වන විටත් ආණ්ඩුවක් තිබෙන බැවින් අමාත්‍යවරුන් වැඩි ආණ්ඩුවක් කුමකට කියාය.

එක්සත් ජාතික පක්‍ෂය ගෙන ඒමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාවට දෙමළ ජාතික සන්ධානය සහාය දෙන්නේදැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා එබව සඳහන් කර තිබේ.

ව්‍යවස්ථා වෙට්ටුවක් !

රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය රටට බරක් ඇයි කිඹුල් කඳුළු හෙලා ඒ මතින් බලයට පැමිණි එජාපය දැන් ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කරන්න වෙර දරන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ කියා සිටියේය.

'' 19 වන සංශෝධනයේ දී රට රවටන්න ඇමති මණ්ඩලය 30ක් කරන්න විධිවිධාන යොදලා ඊට පස්සේ ජාතික ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක ඕනෑ තරම් වැඩි කරන්න පාර්ලිමේන්තුවට බලය ලබා දුන්නා. නමුත් දැන් කරන්න යන විදියට මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රි එක්ක ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සදාචාර විරෝධී පමණක් නොවේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (5) වගන්තිය අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ගත් දේශපාලන පක්ෂය අනෙකුත් දේශපාලන පක්ෂ එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය. මෙහි ඉතාම පැහැදිලිව තිබෙනවා පක්ෂ කියලා බහුවචනයෙන්. නිසා මුස්ලිම් කොංග්‍රසය විතරක් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න බෑ. තවත් එක් පක්ෂයක්වත් එකතු කරගන්න ඕනෑ. ඒ වගේම පක්ෂයක් මිස පක්ෂයක මන්ත්‍රිවරුන් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න බෑ.''.'' ඔහු එහිදී පැවසිය.

ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ මෙසේය.
gossip lanka