ජාතික ආණ්ඩු යෝජනාව පස්සට ගිය හේතුව ?

ජාතික ආණ්ඩු යෝජනාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එජාප ආණ්ඩුව තීරණය කර ඇත. ඉකුත් පෙබරවාරි මස 07 වැනිදා ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ප්‍රකාශ කෙරුණ ද සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුව කියා සිටියේ අදාළ යෝජනාව අදින් (20) ආරම්භ වන පාර්ලිමේන්තු සතිය දක්වා කල් දමන බවයි.
කෙසේවෙතත් මෙම සතියේදී එම යෝජනාව ඉදිරිපත් නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ජාතික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ දෙමල ජාතික සන්ධානයේ කිසිවකු ගෙන් මෙතෙක් සහයක් නොලැබීම ඊට හේතුවී ඇත.

මේ සම්බන්ධයෙන් කල විමසීමක දී අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙසේ පැවසිය.

"මේ අවස්ථාවේ මෙම යෝජනාව වහාම ගන්නේ නැතුව ඉන්නේ කරුණු කිහිපයක් නිසා. මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතරය එක්සත් ජාතික පෙරමුණට තියෙනවා. ඒත් අපිට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් පිට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ පක්ෂත් එකතු කරන් මේක සම්මත කර ගන්න.

ජාතික ආණ්ඩු පිළිබඳ ප්‍රතිපත්තියක් හැටියට මමනම් එකඟ වන්නේ නෑ. නමුත් ආණ්ඩුවේ ස්ථාවරත්වයක් ඇති කරන්න නම් අකමැත්තෙන් හරි මේක කරන්න ඕනේ."

ශ්‍රීලනිප පිරිසෙන් කොළ එළි නැහැ !

එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ජාතික ආණ්ඩු යෝජනාව සම්මතකර ගැනීම සඳහා සහයෝගය ලබාදීම හෝ නොදීම පිළිබඳව තවමත් නිශ්චිත ස්ථාවරයක් ප්‍රකාශකළ නොහැකි බව ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු සති අන්ත 'අනිද්දා' පුවත්පතට ප්‍රකාශකර තිබේ.

ආණ්ඩුවට එක්වීමට බලාපොරොත්තුවන බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වන එම ශ්‍රීලනිප මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රීලනිපය, පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග එක්වන බවට තවමත් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති නිසා ආණ්ඩුවට සහයදීමක් ගැන අවසන් තීන්දුවක් ගත නොහැකි බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට හෝ එදින ඡන්දය ලබානොදී සිටීමට එකඟ කරවා ගැනීමට නොහැකි වුවහොත් ජාතික ආණ්ඩු යෝජනාව විවාදයට ගැනීමට නොහැකිවනු ඇති බවයි.

ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ නොකර සිටින තැනට එකඟ කරවා ගැනීමට ආණ්ඩු පාර්ශවය දැරූ උත්සාහය ද මේවනවිට අසාර්ථකවී ඇත.