"කොකේන් ගහන වැඩිම පිරිස පොහොට්ටුවේ... විමල්ගේ පක්ෂයේ දෙදෙනෙක්" - රංජන්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වැඩිම පිරිසක් අයත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට බවත් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත් අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද 10 දෙනෙකුට වැඩි පිරිසක් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පැවසූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ තුන් දෙනෙක් හතර දෙනෙක් පමණ ද එම මත්ද්‍රව්‍ය භාවිතා කරන බවයි ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පසුගියදා අමාත්‍ය රංජන් රාමනායක මහතා හෙළිදරව් කළ අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් ද පත් කෙරිණි. ඊයේ (22) රංජන් රාමනායක මහතාව එම කමිටුව හමුවට කැඳවා තිබුණු අතර තම ප්‍රකාශය සනාථ කිරීම සඳහා මැති ඇමතිවරුන්ගේ නම් කිහිපයක් එම කමිටුව හමුවට ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

කමිටුවේ සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මෙම කමිටුව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් එහි වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත ඉක්මනින් ලබාදෙන බවත්ය. එසේම මෙම කමිටුව හමුවේ රංජන් රාමනායක මහතා අනාවරණය කළ කරුණු ඒ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ලබාදී ඇති බවයි කිරිඇල්ල මහතා සඳහන් කළේ.