කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ජනපතිගෙන් ඉල්ලති !

රණවිරුවාට වටින්නේ ජීවිතය නොව ඔහුගේ අභිමානය ඔබත්, එම අභිමානය කෙළෙසන ආකාරයට සිදු කරන අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙසත් හිටපු හමුදාපතිවරු තිදෙනෙක් ජනාධිපතිවරයාගෙන් ඊයේ (20දා) ඉල්ලීමක් කළහ.
මෙම ඉල්ලීම කරනු ලැබුවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන් විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුනේ, හිටපු නාවික හමුදාපතිවරයකු වන වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට වාර්තාවීම හේතුවෙනි.

කප්පම් ලබාගැනීම සඳහා දෙමළ, සිංහල සහ මුස්ලිම් සිසුන් ඇතුළු පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නැයි හිටපු නාවික හමුදාපතිවරයකු වන වසන්ත කරන්නාගොඩ මහතාට දැනුම්දීමක් ලැබී ඇතැයි වාර්තාවේ.

''මේ රටේ යුද අපරාධ කියලා දෙයක් වුණේ නැහැ''

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා මෙසේ පැවසිය.

'' ත්‍රීවිධ හමුදා සාමාජිකයන් වැරදි කර තියෙනවා නම් ඔවුන්ට විරුද්ධව හමුදා වෙන්ම දඬුවම් කර තිබෙනවා. මේ රටේ යුද අපරාධ කියලා දෙයක් වුණේ නැහැ. ලෝකෙම දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමයි ශ්‍රී ලංකා හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බළකාය එක්ව මර්දනය කළේ.

ත්‍රීවිධ හමුදාවේ සාමාජිකයන් යම් වැරැද්දක් සිදුකර තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක කරනවාට අපි විරුද්ධ නැහැ. නමුත් හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන මාස ගණන් රඳවා තබාගෙන සිට චෝදනාවන් නැතිව නිදහස් කරනවා. රටේ සංහිඳියාව ගැන කතා කරනවා නම් සංහිඳියාව ඇති කරන්න ඉඩ ප්‍රස්ථාව ඇතිකර දුන් ත්‍රී හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ අමතක කරන්න එපා’’