සම්පත් බැංකුවේ මහා වංචාවට ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු

සම්පත් බැංකුවේ මහා පරිමාණ මූල්‍ය වංචාවට හසු වී සිටින ඇතැම් තැන්පත්කරුවන් එහි කෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇත්තේ එම බැංකුවේ ඉහළම නිලධාරීන්ගේ ඉල්ලීම මත බවට අනාවරණය වී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

HSBC බැංකුවේ ප්‍රිමියර් ගිණුම් හිමිකරුවෙකු වූ ලෝක ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කැළුම් වීරසිංහ මහතා එහි තිබූ කෝටි ගණනක මුදලක් සම්පත් බැංකුවේ තැන්පත් කර ඇත්තේ එම බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ වරයාගේ ඉල්ලීමට බවද මේ වන විට අනාවරණය වී තිබේ.
සම්පත් බැංකුවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව රුපියල් කෝටි 7කට අධික මුදලක් විශ්වාසය කඩකර සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියට අදාලව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විමර්ශනයේදී මෙම තොරතුරු හෙළිවී තිබේ.

සම්පත් බැංකුවේ ඉහළම නිලධාරීන් පිරිසක් විශාල වශයෙන් මුදල් තැන්පත් කර තිබෙන ගිණුම් හිමියන් සමඟ මිතුරු සම්බන්ධයක් පවත්වමින් මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත තොරතුරු ලැබෙමින් පවතින අතර ඒවා සියල්ල ඉදිරියේ දී හෙළිදරව් කිරීමට අප බලාපොරොත්තු වෙමු.