"අපි ඉතිං වයෝවෘද්ධ අයනේ - කුඩු ගැහුවොත් වාරු නෑ" - ෆෝන්සේකා

මත් ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් හිටියත් ඇමතිවරුන් නම් පාර්ලිමේන්තුවේ සිටින බවට තමන් විශ්වාස නොකරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා පැවසීය.
පසුගිය 19 වැනිදා බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ සරත් ෆෝන්සේකා මහතා මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා මෙසේද පැවසීය.

"පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලයේ ඉන්නේ සාමාන්‍යයෙන් වැදගත් ආකාරයට ජීවත් වන අයයි. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතා කරන ඇමතිවරුන් සිටින බවට මම විශ්වාස කරන්නේ නෑ. නමුත් මන්ත්‍රීවරුන් නම් ඉන්න පුළුවන්. අපි ඉතිං ප්‍රවීණ වයෝවෘද්ධ අයනේ. අපි කුඩු ගැහුවොත් ඉතිං තව කාට හරි වෙයි ඇවිත් උස්සගෙන යන්න".

"ඒ වගේ අයව පාර්ලිමේන්තුවට එවන ජනතාව තමයි එහි ප්‍රධාන වග උත්තරකරුවා වන්නේ. ජනතාව තමන්ගේ ඡන්දයේ නියම වටිනාකම ගන්න ඕනේ හරි පුද්ගලයින් පාර්ලිමේන්තුවට එවලා. ඒ වගේ දුරාචාරවලට යොමුවෙලා ඉන්න අය පාර්ලිමේතුවට එවනවා නම් ඒවායේ ආදීනවලට මුහුණ දෙන්න වෙන්නෙත් ජනතාවටම තමයි".

"අපිට ගණු - දෙණු නැහැ කාත් එක්කවත්. ජනාධිපතිවරයෙන් මම ජය ගත්තා. නමුත් ඒක කොල්ල කෑවා. එදා ජයග්‍රහනය මට දුන්නා නම් රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා. දේශපාලනයේදී වුණත් කිසියම් කෙනෙක් වරදක් කරනවා නම් අපිට බය නැතිව කථා කරන්නත් පුළුවන්. ඒ අයට එරෙහිව ක්‍රියා කරන්නත් පුළුවන්. නීතිය කෙලින් ක්‍රියාත්මක වෙන්න දෙනවා නම් ඔය වාගේ දේවල් නවතිනවා. අදත් මේ රටේ තියන ගැටලුව ඕක තමයි".

මෙහිදී අදහස් දැක්වූ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙසේ පැවසීය.

"මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අය පාර්ලිමේන්තුව තුළ ඉන්නවාද කියන එක මම දන්නේ නෑ. එහෙම ඉන්නවා නම් රංජන් රාමනායක මහත්තයා කියන්න ඕනේ ඒ කව්ද කියලා. නැත්නම් ඒ පොදු කුලකයට අපිත් අහු වෙනවා. මම නම් දුම් වැටියක්වත් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. හොදම දේ තමයි ඒ කව්ද කියන එක හෙලි කිරීම. එතකොට ජනතාවට තීන්දු කරන්න පුළුවන් ඊළග මැතිවරණයේදී ඒ අයව පාර්ලිමේන්තුවට නොයවා ඉන්න".

"රංජන් රාමනායක මහත්තයා ළඟ තියනවා කියන ලැයිස්තුව ඉක්මනට එළියට දාන්න ඕනේ. කිය කියා ඉදලා හරියන්නේ නැහැනේ. පක්ෂයට හරි විනය ක්‍රියා මාර්ගයක් ගන්න නමක් තියෙන්න ඕනේ. පැමිණිල්ලක් තියෙන්න ඕනේ. බාගෙට කියලා හරි යන්නේ නැහැනේ. කියන දෙයක් සම්පූර්ණ ලෙස කියන්න ඕනේ. හැබැයි අපි කිව්වොත් නම් සම්පූර්ණයෙන්ම කියනවා".

ජුඩ් සමන්ත - පුත්තලම