විමල්ට හා ගම්මන්පිලට 'පොහොට්ටුවෙන්' වාරණයක් !

පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට හෝ සන්ධානගත වීම හෝ නොවීම තීරණය කිරීමට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ට කිසිම අයිතියක් නැති බව බැසිල්වාදීන් අවධාරණය කර සිටිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී පිරිසක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය.
මීලග ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කරන සාකච්චා සදහා වාඩිවිය යුත්තේ පොහොට්ටුව හැදු නායකයන් විනා විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල වැනි අය නොවන බවත් ඔවුන් පොහොට්ටුවේ සුළු පක්‍ෂ පමණක් බවත් එම නාගරික මන්ත්‍රීවරුන් කියා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙල උරුමය ලෙස ඔවුන් අදහස් පල කලාට කිසිඳු ගැටළුවක් නැති බවත් පොහොට්ටුවේ අයිතිය උදුරා ගන්නට උත්සහ නොකරන්නැයි ඔවුනගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් කියා සිටියහ.

පොහොට්ටුව නිර්මාණය කල නායකයනට ගරහමින් මිලග මැතිවරණවලදී වැඩි ඡන්දයෙන් දිනන්නට හිතන්න එපා යයිද ඔවුන් තවදුරටත් කියා පැවසුහ.

මෙම මාධ්‍ය හමුව සදහා මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සහ කොළඹ නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

' පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ' - ප්‍රසන්න රණතුංග

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග නොකළ පිරිසක් බව කියා සිටියි.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 10ක වියදමින් සංවර්ධනය කෙරුණු මිනුවන්ගොඩ, උඩුගම්පොළ, පේඩිපොළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

පොදුජන පෙරමුණට තනිව තරග කර ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කළ හැකි ආකාරය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලොවටම පෙන්වූ බව එහිදී පැවැසූ රණතුංග මහතා මීළඟ ජනාධිපතිවරයා මෙන්ම මීළඟ ආණ්ඩුවත් බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත් අවධාරණය කළේය.