ශ්‍රීලනිපය පොහොට්ටුවෙන් ඡන්දෙට !

ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘ ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව එම පක්ෂයේ ප්‍රකාශකයකු වන, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයෙහි පක්ෂ නායකයින් හා බහුතර සාමාජිකයින් ගන්නා තීරණය අනුව එම ලකුණ තීරණය වනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය ඇතුළු සියලූ මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ එම පොදු ලකුණ යටතේ බව ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශකයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වැදගත් වන්නේ ලකුණ, පුද්ගලයා නොව වැඩපිළිවෙල බැවින් පුද්ගලයකු වටා නොව යම් කිසි වැඩපිළිවෙලක් වටා ඉදිරි පුළුල් සන්ධානය ගොඩ නගන බව කී මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ඕනෑම මැතිවරණයකදී ජයගන්නා බව ද කීවේය.

කෙසේවුවද ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් නියෝජනය කරන දුමින්ද - අමරවීර කණ්ඩායම කිසිඳු මැතිවරණයකට 'පොහොට්ටුව' යටතේ තරඟ කිරීම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට යටත් නොවී සන්ධාන ගත විය යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

ශ්‍රී ලනිපය නැතත් 'පොහොට්ටුව' දිනනවා'' -බැසිල්

ඊට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව පොහොට්ටුවට තිබෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා ඒ මහතා අතර එහි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.
gossip lanka