පාතාල සාමාජිකයන් 30ක් සොයා STF මෙහෙයුම් !

දකුණු සහ බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක පාතාල සාමාජිකයෝ  30 දෙනෙකු හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පාතාල සාමාජිකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්, ඝාතන සහ කප්පම් ගැනීම වැනි අපරාධවලට සම්බන්ධ අය බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පැවසේ.
මෙසේ අත්අඩංගුවට ගැනීමට සොයන පිරිස අතරින් වැඩිදෙනෙක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකදුරෙ මදුෂ්ගේ ගෝලයන් බවද  වාර්තාවේ.

මේ අය අතර නායක මට්ටමේ පාතාලයන් දෙදෙනෙකු සිටින බවද පැවසේ.

මහර පාතාලයන් කාන්තාවන් කිහිප දෙනෙක් ඔවුන්ගේ අනියම් බිරියන් වශයෙන් තබාගෙන පාතාල  ක්‍රියාකාරකම්වලට උදව් ලබා ගන්නා බවට ද මේ වන විට තොරතුරු හෙළිව තිබේ.

අනියම් බිරියන් වශයෙන් තබාගෙන සිටින බව කියන කාන්තාවන්ට එම පාතාල සාමාජිකයන් සුඛෝපභෝගී වාහන, නිවාස හා ඉඩම් කඩම්ද මිලදීගෙන පරිත්‍යාග කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

මාකඳුරේ මධූෂ් ඇතුළු ප්‍රබල පාතාල නායකයන් ගණනාවක් ඩුබායි පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් හා සම්බන්ධකම් පැවැත්වූ අය සිය පදිංචිව සිටි ස්ථානපවා හැරගොස් ඇති බව පැවසේ.

මේ අතර පසුගිය කාලයේදී මදුෂ්ගේ උපදෙස් මත සිදුකළ ඇතැම් නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන් දිනපතා බැලීමට මදුෂ් කණ්ඩායම් යොදවා සිටි බවත් ඔවුන්ද මේ වන විට බන්ධනාගාරවලට සිය සගයන් බැලීමට පැමිණීමෙන් වැළකී සිටින බවද බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.