දරුවන් වටේ යවන සුරක්ෂා පල් බොරුවක් !

අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හඳුන්වාදෙන ලද සුරක්ෂා රක්ෂණ ක්‍රමය මේ වන විට ගැටලු රැසකට මුහුණදී ඇති අතර එය පාසල් දරුවන්ට නොලැබෙන තත්වයක්ද උද්ගතව තිබේ. වත්මන් ආණ්ඩුව මගින් 2017 වසරේ ඔක්කොම්බර් පළමු වැනි දින ලෝක ළමා දිනයට සමගාමීව මෙය ආරම්භ කෙරිණි. එහිදී 2017 ඔක්තොම්බර් 1 වැනි දින සිට 2018 නොවැම්බර් 30 දක්වා කාලය සඳහා මෙය රුපියල් මිලියන 2700 ක මුදලක්ද සමඟ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබාදුණි.
අනතුරුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙය ප්‍රතිරක්ෂණය කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟින් රුපියල් මිලියන 100 ක කොමිස් මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදෙන ලදි.

අධ්‍යාපන අමාත්‍යංශය මේ ආකාරයට කොමිස් මුදල් ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපනයට අදාළ වෘත්තීය සමිති විරුද්ධ විය. එහිදී අධ්‍යාපන අමාත්‍යංශය දන්වා තිබුණේ සුරක්ෂා රක්ෂණයෙන් ආවරණය නොවන කරුණු සඳහා මෙම මුදල යොදා අරමුදලක් සදන බවයි. කෙසේ වෙතත් මේ වන තෙක් එම අරමුදල සාදා නොමැති බවත් එම මුදලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නොදන්නා බවත් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා "ශ්‍රී ලංකා මිරර්" සමඟ පැවසීය.

මේ අතර 2018 නොවැම්බර් 30 දක්වා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබාදී තිබූ රක්ෂණාවරණය අවසන් වූ අතර ටෙන්ඩර් කැඳවීමකින් පසුව යළි මෙය Allianz රක්ෂණ ආයතනයට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරන ලදි. රාජ්‍ය රක්ෂණ ආයතන තිබියදී විදේශීය පෞද්ගලික ආයතනයකට මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්ද වෘත්තීය සමිති හඬ නැඟීම හේතුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබා දී තිබූ කාලය මසකින් දීර්ඝ කරන ලදි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබා දී තිබූ කාලයද මේ වන විට අවසන් වී ඇති අතර සුරක්ෂා රක්ෂණය මේ වන විට පාලනයක් නැති තත්ත්වයකට පත්ව ඇනහිට තිබේ.

එමෙන්ම මේ රක්ෂණය ක්‍රියාත්මක කරනු ලැබූ කාලයේදී මිලියන 450 ක ප්‍රතිලාභ ලබා දී ඇති බවත් රක්ෂණයට අදාළ සනාථ කිරීම් , ලියකියවිලි පිරවීම් ආදි සියලු කටයුතු පාසල් ගුරුවරු සහ විදුහල්පතිවරුන් විසින් සිදුකර ඇති බවත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කරනු ලැබුවේ චෙක් පතක් ලිවීම පමණක් බවත් ස්ටාලිං මහතා කියා සිටී.

මේ වන විට අනතුරට පත් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණයට අයත් අයදුම් පත් රැසක් අධ්‍යාපන අමාත්‍යංශයේ ඊට අදාළ කාර්යාලයේ ගොඩගැසී ඇත. පාසල් දරුවකු පාසල් භූමිය තුළ අනතුරට ලක්වූ විට සුරක්ෂා රක්ෂණ අයදුම්පත පාසලෙන් ලබාගෙන අදාළ කලාප කොට්ඨාශය වෙත රැගෙන ගිය විට එහි නිලධාරීන් දන්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කළ නොහැකි බවයි. අනතුරුව දෙමාපියන් විසින් මේවා ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය වෙත රැගෙන යන අතර එහිදීද කිසිවක් සිදු නොවන තැන එම නිධාරීන් කියා සිටින්නේ අදාළ අයදුම් පත් යොමු කිරීමට රක්ෂණ ආයතනයක් තවමත් තෝරාගෙන නොමැති බවයි.

මෙම රක්ෂණය කිරීම අධ්‍යාපන අමාත්‍යංශය සතුවම තබාගනිමින් ක්‍රියාත්මක කරන ලෙස මීට පෙර වෘත්තීය සංගම් විසින් අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනාවක් කළ බවත් එසේ නොමැති නම් රක්ෂණයක් නොකර එම මුදලින් පහසුකම් ඇති ළමා රෝහල් කිහිපයක් සෑදීමට කටයුතු කරන ලෙසට යෝජනාවක් බාරදුන් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා අප සමඟ පැවසීය. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය මේ වන තෙක් ඊටද ප්‍රතිචාරයක් දක්වා නොමැත.

මේ අතර මෙම සුරක්ෂා රක්ෂණයට සම්බන්ධව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කිසිඳු ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකළේය. කෙසේ වෙතත් ප්‍රචාරණයද කරට ගත් අධ්‍යාපන අමාත්‍යංශය ඉතිහාසයේ ප්‍රථමවරට සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් දැන්වීමක් පාසල් පෙළපොතට එකතුකර තිබීමද බොහෝ දෙනාගේ විවේචනයට හේතුවූ කරුණක්ව තිබේ.