'නායකයා මෛත‍්‍රී.. සභාපති මහින්ද.. ලේකම්කම, විධායක සභා බහුතරය පොහොට්ටුවට' - අලුත් සන්ධානයේ තනතුරු මෙන්න

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්‍ෂ ගණනාවක එකමුතුවෙන් නව පුළුල් සන්ධානය ඉතා ඉක්මනින් පිහිටුවීමට පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

ඒ අනුව එහි ව්‍යවස්ථාව කඩිනමින් සකස් කරන්නැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා දැනටමත් අපදෙස් දී ඇත.

නව සන්ධානයේ නායකත්වය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් සභාපති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාටත් ලබා දීමට දැනට සාකච්චා මට්ටමේ ඇත.

නව සන්ධානයේ ලේකම් ධුරය ලබා දීමට යෝජනා වී ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා සම නායකයන් ලෙස කටයුතු කල යුතු බවට වූ තවත් යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත.

නව සන්ධානයේ විධායක සභාවේ බහුතර සාමාජිකත්වය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දී ඉතිරි කොටස මන්ත‍්‍රී නියෝජනය, ඡුන්ද පදනම අනුව සාමාජික ගණන ගණණය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ වලට ලබා දීමටද තීරණය වී ඇත.

ඒ අනුව මෙම යෝජනා ගැන අවසන් තීරණය ගැනීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාර දීමටද තීන්දු වී ඇත.