EAP සමූහය ලයිකා මොබයිල්ට දීමේ ගනුදෙනුව නීති විරෝධියි'- විමල්

ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය දේශීය ව්‍යාපාරිකයකුට හිමි නොවී ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ ආයතනයකට මිලදී ගැනීමට හැකි වන පරිදි ආණ්ඩුව හා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ඉදිරි ආණ්ඩුවක් යටතේ එම ගනුදෙනුව පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් පවත්වන බවත් වත්මන් මහා බැංකු අධිපතිවරයාට ඊට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඊයේ (10 ) එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.

''ඊ.ඒ.පී. ආයතන සියල්ලම මහ බැංකුවේ අධිපතිගේ හා ආණ්ඩුවේ ආශිර්වාදය යටතේ සුභාෂ්කරන් අලිරාජා හෙවත් ලයිකා මොබයිල් ආයතනයට හා හිමිකරුගේ සමාගමකට ඉතා අඩු ලංසුවකට ලබා දුන්නා.මෙම ගනුදෙනුවේ මුලින්ම ඇමරිකානු ඩොලර් මිලියන 55 කට සියලූ දේපළ තක්සේරු වුණා. ඊට වඩා වැඩි මුදලක් දීමට දේශීය ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් වුණා. නමුත් ලයිකා මොබයිල් ආයතනයට ලබාදීමට තවත් දේපළ ප්‍රමාණයක් ඇතුළත් කර ඇමරිකානු ඩොලර් මිලියන 60 කට වටිනාකම දැනුම් දුන්නා. දේශීය ව්‍යාපාරිකයා ඩොලර් මිලියන 61 කට ගන්න ඉදිරිපත් වුණා. පසුව තවත් දේපළ එකතු කර ඩොලර් මිලියන 75 කට මිල කරනු ලැබුවා. එසේ කළේ දේශීය ව්‍යාපාරිකයාට මිලදී ගැනීමට නොහැකි වන පරිදියි.

සුභාෂ්කරන් අලිරාජාට අයත් සමාගමකට

පසුව මෙම මුදල කොටස් වශයෙන් ගෙවීමට හැකිවන පරිදි සූක්‍ෂම ලෙස සුභාෂ්කරන් අලිරාජාට අයත් සමාගමකට සැලසුම් සහගතව සියලූ ආයතන පවරනු ලැබුවා.

මුලින්ම හිමිකරු ගැන සඳහන් නොකර ‘බ්ලූ සමිට් මැනේජ්මන්ජ් කැපිටල්’ නමින් සමාගමක් ඉදිරිපත් වුණා. එය සිංගප්පූරුව පදනම් වූ ආයතනයක්. ඊට මහ බැංකු අධිපති අනුමැතිය ලැබුණු පසුව එම සමාගමේ සියලූ කොටස් ‘පෙවිගෝ’ නමැති සමාගමකට විකුණනු ලැබුවා.

මෙම මහ බැංකු කුමන්ත්‍රණයට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ සහෝදරයෙක් සහ මහ බැංකුවේ ඉහලම නිලධාරීන් කිහිප දෙනෙක්ද සම්බන්ධ බවට වාර්තාවෙලා තියනවා

මේ දුෂිත ගණුදෙනුවෙන් පසු ඔවුන් EAP ආයතනයේ කොටස් මෙලෙස හිමි කරගෙන  තිඛෙනවා. ස්වර්ණවාහිනීය- 40%, ස්වර්ණමහල්- 100%, EAP සිනමා- 100% වශයෙන්.

මෙම සමාගමේ අයිතිය අලිරාජා හා බිරිඳ සතුයි. මුලින් ඊ.ඒ.පී. ය මිලදී ගැනීමට ඉදිරිපත් වූ සමාගම පසුව අලිරාජා සතුවෙනවා. මේ හිමිකරුට ත්‍රස්තවාදී මුදල් පරිහරණ චෝදනා හා මුදල් විශුද්ධිකරණ චෝදනා තිබෙනවා.

'මහ බැංකුවේ අධිපතිට ගැලවෙන්න බෑ'

මහ බැංකු අධිපතිවරයා මේ ගනුදෙනුවට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. මෙම 14 වැනිදාට ඉතිරි මුදල් ගෙවිය යුතුයි. සමාගම වරින් වර මුදල් ගෙවීමට කල් ගත්තා. ඒ දිනයත් 14 දාට අවසන් වෙනවා.

මහ බැංකු අධිපති යළිත් කල් දැමීමට ඉඩ දෙන්නේ දැයි බලා සිටිනවා. ආණ්ඩුවත් මහ බැංකු අධිපතිවරයාත් සියල්ල දැනගෙන සිදුවන බව පෙනෙනවා.

මෙම මාසයේ 27 දාට මහ බැංකුව කොල්ලකාලා වසර 04 ක් ගත වෙනවා. මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ සුභාෂ්කරන් නමැත්තාට දේශීය ව්‍යාපාර ලබාදීමට අවස්ථාව ලබාදීම ගැන චෝදනාවෙන් මහ බැංකුවේ අධිපතිට ගැලවෙන්න බෑ. ඔහුට අනාගත ආණ්ඩුවක් යටතේ පරීක්‍ෂණයකට මුහුණ දෙන්න වෙනවා.''