පුංචි ඡන්දයෙන් අපි ගත්තේ 40%යි.. ශ‍්‍රීලනිපය හා එක් විය යුතුමයි.. දිනන්න හැකි ශක්තිමත්ම අපේක්‍ෂකයා ගෝඨාභය පමණයි

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අපට සන්ධානයක් ගොඩ නගා ගත යුතු වෙනවා.  එයට හේතුව තමයි අපි පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද ලබාගත්තේ 40.5% යි.
අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වල අපට  අපට ලබාගැනීමට හැකියාව තිබුණා යැයි තවත් ඡන්ද ලක්ෂ දෙකක් එකතු කලත් අපේ ප්‍රතිශතය 42% යි. පසුගිය පුංචි ඡන්දයේ දී 80 %  ඡන්දය පාවිච්චි කර තියෙනවා. එනම් ජනාධිපතිවරණයකදී ඡන්දය පාවිච්චි කරන තරමටම එම  මැතිවරණයේදී ඡන්දය භාවිතා කර තියෙනවා. ඒ නිසා පුංචි ඡන්දයේදී ඡන්දය ලබා නොදී ගෙදර නතරවන පිරිස ජනාධිපතිවරණයේ දී අප වෙත ආකර්ශනය කරගන්නවා යැයි කියන්නත් බැහැ.  මොකද ගෙදර කවුරුවත් නැහැ ආකර්ෂණය කරගන්න.  අපට 50%  ඉලක්කය පසුකර යෑමට තවත් 8%  මදි.  එම ප්‍රමාණය අපට ලබා ගැනීමට සිදුවන්නේ වෙනත් පක්ෂයක සහයෝගයෙන්.  දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ අපට සහයෝගය දක්වන බවට බලාපොරොත්තු වෙන්නට බැහැ.

ඒ නිසා අපට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුමකට යන්න.  හෙම නැති උනොත් මහ දුෂ්කර ක්‍රියාවක් කරලා මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි.  හැබැයි ඊට වඩා පහසුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා ගැනීමෙන් ජයග්‍රහණය කිරීම.  අපේ 42%  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 12% එකතු වූ විට 54% අපට තියෙනවා. එතකොට නාමයෝජනා භාරදෙන කොටත් අපේ අපේක්ෂකයා දිනලා ඉවරයි. අපිට ජයග්‍රාහී මානසිකත්වය ගොඩනැගෙද්දී අනික් අයට ගොඩනැගෙන්නේ පරාජිත මානසිකත්වයක්. එය මැතිවරණ ජයග්‍රහණයකට අතිශයින්ම වැදගත්. ඒ නිසා කවුරුන් හෝ මේ සමගියට විරුද්ධ වෙනවා නම් ඒ ඉදිරි මැතිවරණයේදී අපේ පරාජයත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන කෙනෙක් විතරයි.

මම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමන්ට වැඩියෙන්ම ගහපු කෙනා. සමහරු එලියෙ බනිනවා හොරෙන් රෑට ගිහින් එතුමාට සුබ පතනවා.  අපි කවදාවත් එහෙම කලේ නැහැ. ජනපතිතුමන් මුලින්ම හමුවුණේ 2016 ජනවාරි 08 වර්ෂපූර්ණය දවසේ. එදා අපි මාධ්‍ය හමුවක් පැවැත්වුවා කළුපාට ඇඳලා. මගේ වාහනයේ කළු පාට කොඩියක් ගහලා තිබුණා.  ජනාධිපතිවරයාව මුලින් හමුවෙන්න ගියේ වාහනයේ කළු පාට කොඩියක් ගහගෙන කළු පාට  කමිසයක් ඇඳලා.  හැබැයි රට වෙනුවෙන් මේ මහා විනාශය නතරකරන්න එක්සත් ජාතික පක්ෂය පරාජය කළ යුතුයි. ඒ සඳහා සෑදිය හැකියි පුළුල්තම සන්ධානය බිහි කළ යුතුයි. මේ නිසයි අපි මේ සන්ධානය වෙනුවෙන් පෙනී ඉන්නේ. අද මේ වීරයෝ වෙන්න හදන අය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් සමග කාලයක් මුකුලු කර කර හිටපු අය.  එතුමාගේ වචනයෙන්ම කියනවා නම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ තුමන්ට වැඩියෙන්ම පහර දුන්නේ මමයි තව එක අපේක්ෂකයෙකුයි.

අපට සිටින දැනට සිටින ජයග්‍රහණය කළ හැකි ශක්තිමත්ම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ඊට කලින් මතවාදයන් දෙකක හිටියත් මේ වන විට ඒ පිළිබඳ ජාතිකවාදී කඳවුරයි වාමාංශික කඳවුරයි දෙකම එකම මතයට පැමිණිලා තියෙනවා. මා දන්නැහැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පොහොට්ටුවේ සාමාජිකයෙක් ද නැද්ද කියලා.  එතුමා පොහොට්ටුවේ සාමාජිකයෙක් වුණත් නැතත් එවැනි ජයග්‍රහනය කළ හැකි නායකයෙකුයි අප ඉදිරිපත් කළ යුත්තේ. ජනාධිපතිවරණයේ දී වැදගත් වන්නේ පක්ෂය මොකක්ද කියන එක නොවෙයි පුද්ගලයා කවුද කියන එකයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළ හංසයා ලකුණ එතුමන් තෝරගන්නේ නාමයෝජනා කාලයේයි. ඒ නිසා මෙහිදී වැදගත් වන පළමු වන දේ පක්ෂය හෝ ලකුණ නොව පුද්ගලයා කවුරුන්දැයි කියන එකයි. ඒ වගේම ඊළඟ තීරණාත්මක සාධකය තමයි මේ මොහොතේ මේ රටේ සිටින ජනප්‍රියතම පුද්ගලයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය ලැබෙන්නේ කාටද කියන එකයි. එම නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ඉදිරිපත් වන්නට පුළුවන් නම් පක්ෂය මොකක්ද ලකුණ මොකක්ද කියන එක වැදගත් නැහැ. ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් පසුගිය මැතිවරණයේදී ඔප්පුකර පෙන්නුවා. ඒ නිසා අප මේ ලකුණු පක්ෂ ඉදිරියට දමමින් අපේ ඡන්ද ගොඩ අඩු කරගන්නවා වෙනුවට අප උත්සාහ කළ යුත්තේ ජනපතිවරණයේදී 50% කඩ ඉම පැණ ගැනීමයි. ඒ ඉලක්කය හැර වෙනත් ඉලක්ක ගැන කවුරුන් හෝ කතාකරනවා නම් ඒ අය කතා කරන්නේ ජයග්‍රහණය ගැන නොව පරාජය ගැනයි.

– අරවින්ද අතුකෝරල