උඩුවේ හිමිගේ අලි පැටව් නඩුවේ තීන්දුව මාර්තු 01

බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව 2019 මාර්තු 01 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය ඊයේ (07) නිවේදනය කළේය.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

රජයේ පාර්ශවය සහ විත්ති පාර්ශ්වය විසින් නඩුවට අදාළ දේශන ඉදිරිපත් කිරීම ඊයේ අවසන් කෙරිණි.

උඩුවේ ධම්මාලෝක හිමියන් විදෙස් ගතවීම සඳහා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේ තීන්දුව සඳහා දින නියම වී ඇති බව පෙන්වා දෙමිනි.

බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති අතර විමර්ශන ආරම්භ වූ මුල් දිනවල එහිමි ප්‍රකාශ කළේ මෙම අලි පැටවා තම විහාරස්ථානය අසල කිසිවකු විසින් අතැර දමා ගොස් තිබුණු බවත් තමන් ඌ හදාවඩා ගත් බවත්ය.