කෙටි ඇමතිකම් ගත් විමල් නීති විරෝධී පත්වීම් 4500 ක් දීලා !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගිය නොවැම්බර් මාසයේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 4500 කට නෛතිකභාවයෙන් තොරව පටු දේශපාලන වාසි තකා ස්ථීර පත්වීමේ ලිපි ලබාදීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් හෙළා දකින බව එහි ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
පසුගිය 13 වැනි දින ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම් හා රාජ්‍ය සේවා කොමිෂන් සභායේ හිටපු ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ඉහත ස්ථීර පත්වීම් ලිපි 4500 ක ප්‍රමාණය නෛතිකභාවයකින් තොරයැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වකවානුවේදී අධිකාරීවල සේවය කරන සේවකයන්ට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වීමට අවස්ථා 4ක් ලබා දුන්නත් දෙපාර්තමේනතුව ස්ථාපිත දින සිට එයට අන්තර්ග්‍රහණය වූ 14,159 වන පිරිස වෙත මෙතෙක් පත්වීම් ලිපි ලබාදී නොමැති අතර, මේ වන විටත් ඒ අතුරින් සේවකයින් 178 ක් මියගොස් 119 කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම ගොස් ඇතත් ඔවුන් කිසිවෙකුටත් විශ්‍රාම වැටුප හිමි නොවීම නිසා ඔවුන්ගේ දරු පවුල් අසරණ වී ඇති බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ වැඩිදුරටත් පැවසීය.