ජාතික ආණ්ඩුව කියන්නේ කැරට් අලයක් - විමල්

එක්සත් ජාතික පෙරමුණ ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව කරළියට ගෙන එන්නේ ඉදිරි අයවැය සම්මත කරගැනීම සඳහා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

 කැබිනට් ඇමතිධුර නොලැබෙන්නේ නම් අයවැයට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ ප්‍රවණතාවක් එජාප මන්ත්‍රීවරුන් අතර පවතින බවයි ඒ මහතා සඳහන් කළේ.
"දැන් එනවා අයවැය යෝජනාවලිය ලබන පාර්ලිමේන්තු සතියේ. ඊට කලින් කැබිනට් ඇමතිකම් නොදුන්නොත් අයවැයේදී ඡන්දෙ දීමෙන් වැළකී සිටීමේ ප්‍රවණතාවයක් තියනවා එක්සත් ජාතික පක්ෂෙ මන්ත්‍රීවරුන් අතර. අන්න ඒ විරෝධය සමනය කරගන්න නම් ඒගොල්ලොන්ට පෙන්නන්න වෙනවා ජාතික ආණ්ඩුව හැදෙනවා, ඇමති මණ්ඩලය 40 පන්නනවා, 40 පන්නනකොට උඹලට ඇමතිකම් දෙනවා, අයවැයට පක්ෂව ඇවිල්ලා ඡන්දෙ දෙන්න කියන කැරට් අලේ තමයි වික්‍රමසිංහ මහත්තයා මේ කවන්න යන්නෙ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ "රටට මොකද වෙන්නේ ?" මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.