අධ්‍යාපන අමාත්‍යංශයට දුන් මිලියන 6,000 කින් ප්‍රයෝජන අරන් නෑ !

වසර 2017 විගණකාධිපති වාර්තාවට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 6000 කට වැඩි මුදලක් කිසිදු කාර්යකට වියදම් කර නොමැති අතර ළමුන් 5000 කට වැඩි පිරිසක් චක‍්‍රලේඛවලට පටහැනිව පාසල්වලට ඇතුළත් කරගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය මූලධන වැය විෂයන් 15 ක් හා පුණරාවර්තන වැය විෂයන් 10 ක් සඳහා වෙන් කළ රුපියල් මිලියන 6163.56 ක් කිසිදු කාර්යකට මූළුමනින්ම උපයෝජනය කර නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2017 වාර්ෂික වාර්තාවෙන් හෙළිව ඇති බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එසේම සිසුන්ට ටැබ් පරිගණක මිල දී ගැනීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 5000 ක්, කාර්ය මණ්ඩල පුහුණු කිරීම සඳහා රුපියල් මිලියන 6 ක් ද, කුලී පදනම මත පරිගණක ලබා ගැනීමට යැයි සඳහන් කළ රුපියල් මිලියන 10,006 ක් ද ලෙස අදාළ මුදල් වෙන් කළද ඒවා වියදම් කර නොමැති බව පැවසේ.

අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන බව පෙන්වමින් බලයට පැමිණි රජය අධ්‍යාපනයට 2% කටත් අඩු මුදලක් වෙන් කරවා ගෙන විවිධ කටයුතු කරන බව ප්‍රචාරය කරමින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කර අධ්‍යාපනය නඩත්තු කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් ඉලක්කම් විජ්ජාවක් සිදු කරන බවට ද එම සංගමය චෝදනා කර තිබේ.

අදාළ වාර්තාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට මගින් 2017 වසරේ පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 39 ක් ලෙස දක්වා ඇතත් ජාතික පාසල් 89 ක එම සීමාව ඉක්මවා ළමුන් 5,504 ක් ඇතුළත් කර ඇති බවද පැවසේ.

මේ වන විට 2019 වසරේ ද මේ ආකාරයටම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනිව ළමුන් ඇතුළත් කරමින් පැවතීම බරපතල ගැටලූවක් බවත් පෙන්වාදෙන එම සංගමය මේ තත්වය තුළ දෙමව්පියන් බරපතල පීඩාවකට පත්වී ඇති බව ද කියා සිටී.

අධ්‍යාපන සංවර්ධනය පසෙක තබා හුදු ප්‍රචාරක ව්‍යාපෘතියක් පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කරමින් පවතින බව ලංකා ගුරු සංගමය විසින් අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් අතර, ඉහත විගණකාධිපති වාර්තාව අනුව එම ප්‍රකාශය තහවුරුවී ඇතැයි ද එහි දැක්වේ.

එසේම 13 න් වසරක අධ්‍යාපනය, ‘ළඟම පාසල හොඳම පාසල’ වැනි අසාර්ථක ව්‍යාපෘති පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කරමින් සිටින අතර, මෙවර අයවැය මගින් ද පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරි ගන්වා ඇතත්, නිදහස් අධ්‍යාපනය තහවුරු කරන කිසිදු වැඩපිළිවෙලක් වෙනුවෙන් මුදල් වෙන්කර නොමැති බවටද ලංකා ගුරු සංගමය චෝදනා කර සිටී.