හෂීස් තොගයක් සමඟ තිදෙනෙකු කොච්චිකඩේදී අල්ලයි !

ලක්ෂ 78 ක් වටිනා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය මීගමුව - කොච්චිකඬේ ප්‍රදේශයේ පෙරේදා පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාශය මගින් මෙහිදී සොයාගත් ග්‍රෑම් 600 ක් වන මෙම හෂිස් ඉතාලියේ සිට ගුවන් තැපැල් මගින් විදුලි උපකරණවල සඟවා මෙරටට රැගෙනවිත් ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් මිනුවන්ගොඩ, හොරණ සහ මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් ළඟ තිබී මත්ද්‍රව්‍ය සඟවා එවන ලද රූපවාහිනිි යන්ත්‍රයක්, විදුලි උඳුන් දෙකක් සහ ජංගම දුරකථන 5 ක් ද සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ අතර කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලක් තුළ දී රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් කොටුව - වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතීඥ දීමනී බැද්දේවෙල හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදිය.