බැඳුම්කර මගඩියට අගමැතිට විරුද්දව ඉතා පැහැදිලි සාක්‍ෂි !

2015 හා 2016 සිදුවූ මහ බැංකු බැඳුම්කර මගඩියේ සැලසුම් කිරීමේත්, ක‍්‍රියාත්මක කිරීමේත්, එය වසන් කිරීමට ගත් උත්සාහයේත්, අගමැති රනිල් විමසිංහ ඍජු හා වක‍්‍රව සම්බන්ධ වී තිබූ ආකාරය පිළිබඳව ඇති සාක්ෂි අපමණය. මේවායින් කීපයක් පහත දැක්වේ.

1) මහජනතාවගේ පමණක් නොව, කැබිනට් මණ්ඩලයේම සමහර සාමාජිකයන්ගේ විරෝධතා පවා සම්පූර්ණයෙන් නොසලකා, අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට මූලිකත්වය ගැනීම.

2) නිදහසින් පසු ප‍්‍රථම වරට, මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් වෙන්කොට, එම ආයතනය තමන් යටතේ තිබූ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පවරා ගැනීම.

3) මහ බැංකු බැඳුම්කර කොල්ලය ජනගත වූවාට පසු අර්ජුන මහේන්ද්‍රන් රැක ගැනීම සඳහා පෞද්ගලිකව විශාල උත්සාහයක් දැරීම මෙන්ම විවිධ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඒ සඳහා යොදාගැනීම.

4) වසර 18 ක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන එමින් තිබූ මහ බැංකු බැඳුම්කර නිකුත් කරන ක‍්‍රමවේදය ක්ෂණිකව වෙනස් කරන ලෙස අර්ජුන මහේන්ද්‍රන්ට නියෝග කළේ තමා බව ප‍්‍රසිද්ධියේ පිළිගැනීම, බැඳුම්කර නිකුතු වැනි තාක්ෂණික කටයුතු පිළිබඳව, කිසිදු තාක්ෂණික දැනුමක් නොමැති අගමැතිවරයා එලෙස අණදීම හරහා පැහැදිලිවම කර ඇත්තේ බලය අයුතු ලෙස භාවිත කිරීමක් බව අද සියලූ දෙනාටම පැහැදිලිය.

5) මේ මගඩිය නිසා නැගී ආ ජනතා විරෝධය සමනය කිරීම සඳහා බැඳුම්කර සිද්ධිය ගැන සොයාබැලීමට එක්සත් ජාතික පක්ෂයට හිතවත් නීතීඥයන් 3 දෙනකුගේ කමිටුවක් පත් කිරීම.

6) බොහෝ ව්‍යාපාරිකයන්ට සහ පැවති මහ බැංකු පාලනයට ඉතා පහත් ලෙස අපහාස කරන අතරම, 2015 මාර්තු 17 දා අර්ජුන මහේන්ද්‍රන්ට පූර්ණ සහාය දක්වමින් පාර්ලිමේන්තුවේ කතාවක් කිරීම. එහිදී, තමන්ගේ අණ අනුව, වෙනස් කරන ලද බැඳුම්කර නිකුත්කිරීමේ ක‍්‍රමවේදය සාධාරණීකරණය කිරීම.

7) කෝප් කමිටුව මහබැංකු මංකොල්ලය ගැන පරීක්ෂණයක් කරන්නට තීරණය කර ඇති බවට වාර්තා වූ විට, එවකට එම කමිටුවේ සේවය කළ එක් සාමාජිකයෙකුට ඉල්ලා අස්වන්න යැයි උපදෙස් ලබාදී, තමන්ට හිතවත් සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයා කෝප් කමිටුවට පත් කිරීම.

8) මන්ත‍්‍රී සුජීව සේනසිංහ ලවා 2015 පෙබරවාරි 27 වන දින බැඳුම්කර වංචාවක් සිදුවූයේ නැතැයි සනාථ කරන පොතක් ලියවා ගැනීම මගින් අර්ජුන මහේන්ද්‍රන්ගේ වාංචනික ක‍්‍රියා කලාපය සාධාරණීකරණය කිරීම.

9) කෝප් කමිටුව තුළ සිටි එජාප සාමාජිකයන් ලවා සභාපති ඩිව් ගුණසේකර කෝප් කමිටුව තුළ සාකච්ඡාවලදී සෑම උපායක්ම යොදවමින් අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කිරීම.

10) කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර, කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දිනයක් නියම වූ විට, එදිනට පෙර දින ජනාධිපතිවරයා ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.

11) පාර්ලිමේන්තුව විසුරුවූවාට පසු, කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර විසින් කෝප් කමිටු වාර්තාව මහජනතාවට නිකුත් කිරීම වළැක්වීමට මන්ත‍්‍රී සුජීව සේනසිංහ හරහා එම වාර්තාව තහනම් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කිරීම, සහ සේනසිංහ එසේ කිරීම ප‍්‍රසිද්ධියේ අනුමත කිරීම.

12) 2015 අගෝස්තු මාසයෙන් පසු පත්වූ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ නව සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ දුර්වල කිරීමට, තම එජාප මන්ත‍්‍රීන් ලවා පාද සටහන් (”ෆුට් නෝට්”) දැම්මවීම. කෝප් කමිටුව තුළ සිටි එජාප සාමාජිකයන් ”ෆුට් නෝට්” කල්ලිය ලෙස ප‍්‍රසිද්ධ වූයේද ඒ අනුවය.

13) එම කල්ලිය විසින් එලෙස යොදා තිබූ ”ෆුට් නෝට්” වලට එරෙහිව මහ බැංකු නිලධාරීන් ඉදිරිපත් කළ විරෝධතාවන් ඉල්ලා අස්කරගන්නා ලෙස අගමැතිගේ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හරහා බලපෑම් කරවීම. ඒ ප‍්‍රබල බලපෑම් නිසා මහ බැංකු නිලධාරීන් එම විරෝධතා ලිපිය ඉල්ලා අස්කර ගත් බවද වාර්තා වේ.

14) රටපුරා ජනතාව සහ මාධ්‍ය හරහා ගොඩනැගෙමින් තිබූ විරෝධතාවන් නොසලකා, යළිත් 2016 ජූලි 1 වැනිදා සිට අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත්කර ගැනීමට දැඩි උත්සාහයක නියැළීම.

15) මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස නැවත පත් කර ගැනීමට අපොහොසත් වූ විට, ඔහු තම අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස පත්කර ගැනීම.

16) මහ බැංකුව තුළ එම බැඳුම්කර කොල්ලයට අදාළ කරුණු සැඟවීමට සහ මගඩිය ක‍්‍රියාත්මක කිරීමට සහායක් ලබා දුන්නා යැයි සැක කෙරෙන නියෝජ්‍ය අධිපති පී. සමරසිංහ විශ‍්‍රාම ගිය විගස, ඔහු මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට 2017 අගෝස්තු මස සිට පත් කිරීමට උත්සාහ කිරීම.

ඉහත කී කරුණු හා හැසිරීම් අනුව, මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට රනිල් වික‍්‍රමසිංහගේ සෘජු සහ වක‍්‍ර සම්බන්ධයක් ඇති බව ඉතා පැහැදිලිය. එම තත්ත්වය මෙතරම් පැහැදිලිව සනාථ වුවද, මේ මහා නීල කූඨය සිදු වී වසර 4 කට පසුවත්, මේ මහා හොරකමට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේවත් රනිල් වික‍්‍රමසිංහ තවමත් නීතිය ඉදිරියට කැඳවා නොතිබීම විමතියට කරුණකි.



එපමණක් නොව, මේ මගඩිය මහා නීල කූඨයේ ප‍්‍රධාන සැකකරුවන් වන රනිල් වික‍්‍රමසිංහ හා අර්ජුන් මහේන්ද්‍රන් යන අයට අමතරව, වගකිවයුතු තවත් කීප දෙනකු සිටින අතර, ඒ අයද ඍජුව හෝ වක‍්‍රාකාරව මේ කොල්ලයේ කොටස් කරුවන් බව දැනටමත් සාක්ෂි රාශියක් හරහා සැක මතුවී ඇත. ඒවා ගැනද මේ අවස්ථාවේදී කෙටි විග‍්‍රහයක් කිරීම යෝග්‍යය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් වන සභාපති මලික් සමරවික‍්‍රම, ලේකම් කබීර් හෂීම් හා නියෝජ්‍ය නායක රවි කරුණායක යන අය, මෙම මහා බැඳුම්කර මංකොල්ලය සිදුවීමට පෙර දින මහ බැංකුව තුළ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වූ බව දැන් හෙළිදරව් වී ඇත. මේ පිළිබඳව ඔවුන්ගෙන් ප‍්‍රශ්න අසන ලද විට, ඔවුන් කියා ඇත්තේ ”රජයේ මුදල් අවශ්‍යතා” ගැන ඔවුන් සාකාච්ඡා කළ බවයි. එහෙත්, එවැනි නිල කරුණක් පිළිබඳව මේ ආකාරයෙන් සාකච්චා කළ යුතු වන්නේ එම විෂයට අදාළ නිලධාරීන් පමණක් වන අතර, ඒ සාකච්ඡා සඳහා දේශපාලනඥයන් සහභාගි වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සියලූ දෙනාම දනිති. තත්ත්වය මෙසේ වුවද, සාමාන්‍ය ක‍්‍රමවේදයෙන්ට බාහිරව පැවති මේ සාකච්ඡාව ගැන මෙතෙක් කිසිදු විමර්ශනයක් පවත්වා නැති වීම විශාල අභිරහසක් නොවේද?

තවද, මෙම මහ බැංකු බැඳුම්කර මංකොල්ලය දියත් කිරීමට පදනම් වූ මූලික අරමුදල වූ රුපියල් බිලියන 10 ක අති විශාල මුදල, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයට ලබා දුන්නේ ලංකා බැංකුවය. විදුලි වේගයෙන් මෙතරම් විශාල මුදලක් ලංකා බැංකුව විසින් ලබා දුන් කිසිදු තවත් අවස්ථාවක් ඉතිහාසයේම නැති බව සියලූ දෙනාම දන්නා කරුණකි. එසේ නම්, මේ මුදල ලබා දෙන්න යැයි ලංකා බැංකුවට නියෝග දුන්නේ කවුදැයි සොයා බැලූවානම් මහ බැංකු බැඳුම්කර මංකොල්ලය පිටුපස සිටින අදිසි හස්තය සොයා ගත හැකි වන බව නොරහසකි. එහෙත්, පුදුමයකට මෙන්, ජනාධිපති කොමිසම පවා මේ කරුණ පිළිබඳව විමසීම හිතාමතාම වගේ මග හැර ඇති බව පෙනුනි. ඒ ඇයි? එවැනි විමර්ශනයක් හරහා මේ මගඩියේ මොළකරු හදුනා ගැනීමට හැකිවේ යැයි යන බිය නිසාද?

මහ බැංකු බැඳුම්කර මංකොල්ලයේ දෙවන පියවර ලෙස සැලකෙන 2016 අපේ‍්‍රල් 1 දා සිදුවූ මගඩිය ක‍්‍රියාත්මක කිරීම සඳහා, මහ බැංකුව විසින්ම එහි ”දෛනික ද්‍රවශීලතා පහසුකම” (Intra-day Liquidity Facility) අපයෝජනය කරමින් රුපියල් බිලියන 40 ක පමණ දැවැන්ත මුදලක් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයට නීති විරෝධීව ලබා දුන් බවට කරුණු හෙළිවී ඇත. ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු වලින්ද පෙනී යන්නේ අර්ජුන් මහේන්ද්‍රන් විසින් මෙවන් දැවැන්ත අසාමාන්‍ය පහසුකමක් ලබා දීම හරහා, රජයේ මුදල් දැඩි ලෙස අවභාවිත කරමින් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයට අති විශාල ලාබයක් ඉපයීමට මග පාදා දෙන ලද බවය. එහෙත්, ජනාධිපති කොමිසම පවා තම වාර්තාවේ මේ අසාමාන්‍ය සහ කූට සිදුවීම ගැන වැඩිදුර කරුණු විමසීම මඟ හැර ඇති බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන්, අර්ජුන මහේන්ද්‍රන්ට හෝ ඔහු හා එක්ව කටයුතු කල කූඨ කණ්ඩායමට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගැනීම විශ්මයට කරුණකි. එසේ නම්, මේ සිදුවීමත් මෙම මහා බැඳුම්කර නීල කූඨය වසන් කිරීමේ දැවැන්ත උත්සාහයේ තවත් එක් පියවරක් නොවේද?

බැඳුම්කර කොමිසම හමුවේ පැහැදිලි වූ තවත් කරුණක් නම්, දේශපාලන උපදෙස් මත ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව, 2016 මාර්තු 28 සහ 30 පැවති බැඳුම්කර වෙන්දේසි අවස්ථාවේ හිතාමතාම එම බැංකු වලට අවාසිදායක ආකාරයට අඩු ලංසු ඉදිරිපත් කළ බවය. ඊට අමතරව, සේවක අර්ථ සාධක අරමුදලටද එම වෙන්දේසියේදී ලංසු නොතබන ලෙස උපදෙස් ලබා දී තිබුන බවට කරුණු හෙලිවුනි. ඒ සියල්ල කරන ලද්දේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයට තරගකාරීත්වයකින් තොරවම ලංසු දිනා ගැනීමට ඉඩ සැලසීම බවද කියැවුනි. එම ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස රජයේ බැංකුවලට විශාල අවාසියක් සිදුවූ බව එම බැංකු වල සභාපතිවරුද කීහ. එවැනි සාක්ෂි තිබියදී පවා, මෙම දූෂණයට සම්බන්ධ වූවන්ට එරෙහිව අද වන තුරුත් කිසිදු පියවරක් ගෙන නැත්තේ මගඩියේ මොළකරුගේ බලපෑම නිසාද?

එපමණක් නොව, කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් වාර්තාව සකස් කළ අවස්ථවේදී, එජාප ”ෆුට් නෝට්” මන්ත‍්‍රී කල්ලිය ප‍්‍රකාශ කළ කරුණු වලට අභියෝග කරමින් මහ බැංකුවේ නිලධාරීන් විරෝධතා ලිපියක් කෝප් කමිටුවේ සභාපතිට යවා ඇති බවට පසුව කරුණු හෙළිවිය. එහෙත්, අගමැතිවරයාගේ අමාත්‍යාංශයෙන් කරන ලද නියෝගයක් අනුව, එම විරෝධතා ලිපිය මහ බැංකුවේ නිලධාරීන්ට අකුලා ගන්නට සිදුවූ බවද වාර්තා විය. එවැනි දැඩි නියෝගයක් දිය හැක්කේ අගමැති රනිල් වික‍්‍රමසිංහට පමණක් බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. මෙයද බැඳුම්කර මංකොල්ලයට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ සම්බන්ධය තවදුරටත් තහවුරු කරන කරුණක් වන නිසා, එම දේශපාලන ඇඟිලි ගැසීමට සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට විරුද්ධව නීතිමය කටයුතු යට යෑම පුදුමයක්ද?

මහ බැංකු බැඳුම්කර මංකොල්ලය නිසා සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් බිලියන 20 කට වඩා පාඩුවක් සිදුවූ බව මහ බංකුවේම අභ්‍යන්තර වාර්තාවල සඳහන් බවත් දැනට කරුණු හෙළිවී ඇත. එහෙත්, ජනාධිපති කොමිසම් වාර්තාවේ සඳහන් කොට ඇත්තේ ඊට බෙහෙවින් අඩු අලාභයකි. ඒ අනුව, රුපියල් බිලියන් 8.5 ක් පමණක් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් අයකරගත යුතු බව එම වාර්තාවේ කියැවුනද, අද වන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදු වී ඇති බවක් පෙනෙන්නට නම් නැත. ඊට අමතරව, හිතා මතා, අඩු ලංසු තැබූ බැංකුවල ප‍්‍රධානීන්ට, එසේ කරන ලෙස රාජ්‍ය ආයතන වලට බලපෑම් කළ දේශපාලනඥයන්ට හා ඉහළ නිලධාරීන්ට, අර්ථ සාධක අරමුදල මෙම වංචාවට සම්බන්ධ කරගත් විවිධ පුද්ගලයන්ට එරෙහිව, අද වන තුරුත් කිසිදු නීතිමය පියවරක් ගෙන නැත. මේ සියලූම නීතිමය කටයුතු අත්හිටු වන්නට හැක්කේ ඉතා ප‍්‍රභල දේශපාලඥයන්ට පමණක් බව මුළු රටටම වැටහෙනු ඇත. ඒ පුද්ගලයා කවුරුන්ද?

2015 හා 2016 සිදු වූ මහ බැඳුම්කර මංකොල්ල නිසා රටට සිදුවූ හානිය අති විශාලය. එම පාඩුව, රුපියල් බිලියන 1000 කටත් වඩා වැඩි බව දැනටමත් තාක්ෂණිකව ගණනය කොට ඇත. එපමණක් නොව, ශ‍්‍රී ලංකා ආර්ථිකයට හානිකළ මෙම මහා මගඩිය නිසා දේශීය සහ විදේශ ආයෝජකයන් තුළ ශ‍්‍රී ලංකාව ගැන තිබූ විශ්වාසයද දැඩි ලෙස බිඳ වැටී ඇත. රටේ පොලී අනුපාතයන්ද විශාල ලෙස ඉහළ යන ලදී. ඒ හරහා, දේශීය ව්‍යාපාර වලට දැඩි බලපෑමක්ද එල්ල වන ලදී. එසේ වුවත්, අගමැතිවරයාගේ බලය සහ බලපෑම නිසා එම තත්ත්වය දිගින් දිගටම ජනතාවගෙන් වසන් කරන්නට කටයුතු කෙරෙන බව පෙනේ. අගමැතිගේ බලපෑම සහ බලය කෙතරම්ද කිවහොත්, ජනාධිපති කොමිසම පවා අගමැතිවරයා කිසිදු අපහසුතාවකට පත් නොකරමින්, ඔහු සමග ඉතා සුපරික්ෂාකාරී ලෙස කටයුතු කළ ආකාරය සියල්ලන්ටම පැහැදිලිවම පෙනුනි.

”යහපාලනය” පොරොන්දු වී, 2015 ජනවාරි 8 වැනිදා බලයට පිවිසුණු දේශපාලන කණ්ඩායම ලංකා ඉතිහාසයේ විශාලතම මංකොල්ලය සිදු කළ බව අද පැහැදිලිය. එසේ කළායින් වසර 4 කට පසුවද, රටේ ජනතාවට සිදුව ඇත්තේ එම මහා නීල කූඨයේ නායකයන් සහ මොළකරුවන් දෙස අසරණව බලා සිටින්නට පමණි. මෙම හොරකමේ මූලික කාර්ය භාරයක් ඉටුකළ මහේන්ද්‍රන් කිසිදු බාධාවකින් තොරව රටින් පිටව යෑම දුක්මුසුව අධ්‍යයනය කරන්නට පමණි. මහේන්ද්‍රන් ගැන තමා පෞද්ගලිකව වගකියන බවට එදා ප‍්‍රසිද්ධියේ පොරොන්දු වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ, දැන් මහේන්ද්‍රන් සිටිනා තැනක්වත් නොදන්නා බව කියද්දී, ඒ කියමන ගැන කම්පා වන්නට පමණි.

මේ සියලූ කරුණු වලින් පැහැදිලි වන්නේ, මේ මහා නීල කූඨයට වත්මන් පාලකයන්ගේ ඇති සෘජු සහ වක‍්‍ර සම්බන්ධය නිසා, ඔවුන් බලයේ සිටින තාක්කල් මේ මහා මංකොල්ලය සම්බන්ධයෙන් ඔවුන් කිසිදු නීතිමය පියවරක් නොගන්නා බවය. ඒ නිසා, අපක්ෂපාතී පරීක්ෂණයක් කොට වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට නම්, එසේ කිරීමට හැකි වන්නේ රනිල් වික‍්‍රමසිංහට බලයක් නොමැති අනාගත රජයක් විසින් පමණක් බව අද පැහැදිලිය. මේ මහා හොරකමේ මොළකරුවන් සහ සැලසුම් කරුවන් ජනතාවට හෙළි කොට ඔවුන්ට දඬුවම් දිය හැක්කේ එවිට පමණය.

එසේ නම්, මේ යහපාලන බැඳුම්කර මගඩිය පිළිබඳව අනාගත රජයක් උපායමාර්ග කෝණ (strategic thrusts) කීපයක් හරහා, පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඒකාබද්ධ (integrated) වැඩපිළිවෙළක් දියත් කළ යුතුය.

අ) මෙම බැඳුම්කර මගඩියට සම්බන්ධ යැයි චෝදනා ලැබ ඇති ප‍්‍රාථමික ගැණුම්කාර සමාගම වන පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට සහ එහි නිලධාරින්ට සීමාවී ඇති දඬුවම් දීමෙන් ඔබ්බට ගොස්, මෙම මගඩියට සම්බන්ධ මහා මොළකරු ඇතුළු සියලූම පාර්ශ්වයන්ට විරුද්ධව නීතිමය කටයුතු දියත් කරමින් ඒ සියලූ දෙනාටම දැඩි දඬුවම් ලබා දීම.

ආ) මෙම මගඩියට සම්බන්ධ මොළකරු ඇතුළු සියලූ දෙනා භුක්ති විඳ ඇති නීති විරෝධී ලාභ සහ දීමනා නැවත අය කර ගැනීම සහ යම් ලාභාංශයක් හෝ දීමනාවක් ඔවුන් වෙනත් සම්පත් බවට පරිවර්තනය කොට ඇත්නම්, එම සම්පත්ද රජයට පවරාගෙන ඒවා විකුණා රටේ සහ රජයේ අලාභය පියවා ගැනීම.

ඇ) මුදලට හෝ වෙනත් වාසීන් තකා මෙම බැඳුම්කර මගඩිය වසන් කිරීමට කටයුතු කළ සියලූ දෙනා නම් කොට, එම වසන් කිරීමේ කාර්යට කැපවූ සියලූ දෙනාට විරුද්ධව නීතිමය කටයුතු කිරීම.

ඈ) බැඳුම්කර මගඩියේ දිගුකාලීන අවාසීන් හරහා රජයට, ආර්ථිකයට සහ ජනතාවට, තවමත් සිදුවෙමින් පවතින පාඩු සහ අලාභ නැවැත්වීමට සහ/හෝ අවම කිරීමට වහාම පියවර ගැනීම.

ඉ) වසර ගණනාවක් තිස්සේ ඉතා කාර්යක්ෂම ලෙස සහ නිවැරැදි ලෙස බැඳුම්කර නිකුත් කිරීමට මහ බැංකුව විසින් අනුගමනය කරන ද තාක්ෂණික ක‍්‍රමවේදය, එම ක‍්‍රියාව පිළිබඳව කිසිදු දැනුමක් නොමැති අගමැතිවරයාගේ සෘජු අණ පරිදි මහ බැංකු අධිපති විසින් හදිසියේම වෙනස් කිරීම වැනි ප්‍රෝඩාකාරී දේශපාලනික බලපෑම් සහමුලින්ම නැවැත්වීමට රාජ්‍ය පාලන ක‍්‍රමවේදයන් වෙනස් කොට ස්ථාපනය කිරීම.

ඊ) බැඳුම්කර මගඩියෙන් අයුතු ලෙස උපයා ගන්නා ලද දැවැන්ත නීති විරෝධී මුදල් තොගයෙන් කොටසක්, 2015 අගෝස්තු මස මහ මැතිවරණයේදී මගඩියේ මොළකරු ඇතුළු වෙනත් දේශපාලනඥයන් විසින් තමන්ගේ මැතිවරණ කටයුතු වලට යොදාගෙන ඇත්තේ දැයි සොයා බැලීම.

උ) වර්තමාන අගමැති, ප‍්‍රධාන පෙළේ ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, මහ බැංකු අධිපති මහේන්ද්‍රන් සහ අනිකුත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු දේශපාලනිත නායකයන් සහ නිලධාරීන් විසින් එල්ල කරනු ලැබූ දැඩි බලපෑම් සහ පීඩන වලට යටත් නොවී, බැඳුම්කර මගඩිය නිර්භීතව අනාවරණය කිරීමටද එහි පාඩු ගණනය කිරීමටද කටයුතු කළ නිලධාරීන්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන් සහ වෙනත් පුද්ගලයන් හඳුනාගෙන ඔවුනට නිසි සුභාශිංසනය සහ ගෞරවය දැක්වීම.

දැනටමත් මෙම බැඳුම්කර මගඩිය පිළිබඳව තොරතුරු සහ විශ්ලේෂණ රාශියක් පසුගිය වසර තුනහමාර තුළදී විවිධ ප‍්‍රයත්නයන් හරහා අනාවරණය වී ඇත. එම තොරතුරු සහ දත්තද ප‍්‍රයෝජනයට ගනිමින්, මෙහි දක්වා ඇති පුළුල් වැඩපිළිවෙළ සාර්ථකව දියත් කර ගැනීමට, නව රජය පත්වී මාස 12 ක පමණ කාලයක් තුළදී ක‍්‍රියාකළ හැකියැයි අපේක්ෂා කළ හැක.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
– Divaina