අයවැය පැරදෙයි කියා එජාපයම කියයි.. පැරදුනොත් මහ ඡන්දයක් !

රුපියල අවප්‍රමාණය වන සහ රටේ මුදල් පිටරටවලට ඇදී යන අනවශ්‍ය පරිභෝජන රටාව නවතා ස්වදේශික අනන්‍යතාව රකින රටට ඔබින පරිභෝජන රටාවක් හඳුන්වා දීම සඳහා පෙරමුණ ගත හැක්කේ මෙරට කාන්තා පරපුරට බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූයේ ලක්මව දියණියෝ සංවිධානය විසින් පැවැත්වූ ජගත් කාන්තා දින සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය..

“ජාත්‍යන්තර කාන්තා දිනය මුල් කර ගනිමින් ඔබ සමඟ මේ රට පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් කළ යුතුව ඇති නිසයි මෙවැනි සැමරුමක් සංවිධානය වෙන්නේ. ලෝක ඉතිහාසය කෙසේ වෙතත් අපට ඇත්තේ කිසිවිටක කාන්තාවන්ට දෙවැනි කොට සැලකූ ඉතිහාසයක් නොවෙයි. යුරෝපා ඉතිහාසය තුළ මුණගැසෙන වහල් යුගය හෝ වැඩවසම් යුගය අපේ රටේ ඉතිහාසය තුළ ඒ අර්ථයෙන් මුණගැසෙන්නේ නැහැ. එමගින්ම පෙනී යනවා පෙරදිග අපි ගොඩනඟා ගෙන ඇති දැනුම් සම්ප්‍රදායන් අපරදිගට වඩා හරයාත්මකව වෙනස් කියලා. ඒ වෙනස තේරෙනවා නම් පමණයි මේ රටේ කාන්තාවන්ට පමණක් නොවෙයි, දූ දරුවන්ට පවා ගැලපෙන රටක් අපට නිර්මාණය කිරීමට හැකිවන්නේ.

‘වෙනස නොතේරෙන රනිල් – මංගල’

මංගල සමරවීර මහතා ඔහුව දැන් හඳුන්වා ගන්නේ ‘ඛේමාගේ කොලුවා’ කියලයි. ඒ නිසා ඔහු කරන කියන දේවලට ඔහුගේ මැණියන් ද සිහිපත් කර දෙනවා. ඉතිං මේ ‘ඛේමාගේ කොලුවා’ ඉහත වෙනස හඳුනාගත් කෙනෙක්ද? නැහැ. ඔහු ඉදිරිපත් කළ අය – වැය ඒ වෙනස හඳුනාගෙන මේ රටේ ජනතාවගේ හෙට දවස සුබවාදී කරන්න ගෙන ආ එකක්ද? නැහැ. ඒක නිකම්ම නිකම් අය – වැයක්. අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා දිනවල පැවසූවා, ‘ලෝකයට වැඩියෙන්ම යට ඇඳුම් (ඔහු භාවිත කළ වචනය මා මෙතන සදහන් කරන්නේ නැහැ.) මහන්නේ අපි’ කියා. ඉහත වෙනස තබා අප රටේ පාලකයකු ලෙස තිබිය යුතු සමාජ – සංස්කෘතික සංවේදීතාව හෝ තේරුම්ගත නොහැකි නිසයි ඔහු ඒ වචනය භාවිතා කරන්නේ.

වැඩවසම් සමාජ ක්‍රමයක් මේ රටේ තිබුණා නම් තේ වතුවල වැඩ කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට දකුණු ඉන්දියාවෙන් දෙමළ ජාතිකයන් ගෙන ඒමට වුවමනා වන්නේ නැහැ. ස්වදේශික සිංහල ජනයා එදා සුද්දාගේ වත්තේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කළා. එසේ ප්‍රතික්ෂේප කිරීමට හැකිවන්නේ ඒ වනවිටත් තමන්ට අනන්‍ය ජීවනෝපාය රටාවක් තිබුණු නිසයි. සීගිරි ගලේ ලියූ කවි විමර්ශනය කළාම එහි කාන්තාවන් ලියූ කවි ද තිබෙනවා. ඒ වගේම මහ රහතන් වහන්සේලාට ආරාම කුටි හෙවත් කටාරම් ලෙන් පරිත්‍යාග කළ අයගෙ නම් අතර කාන්තාවන්ගේ නම් ද කියවෙනවා. එම ඉතිහාසයෙන් පෙනී යන්නේ මෙරට කාන්තාව සමාජ සංවර්ධන ක්‍රියාදාමය තුළ සජීවී කොටස්කාරියක් වූ බව නොවෙයි ද? එදා ශිල්ප ශාස්ත්‍රයන් ලබා දුන් කේන්ද්‍රස්ථානය පන්සල වූවා. එහි ශිල්ප හැදෑරූවන් අතර කාන්තාවන් ද වූවා. අපේ ඓතිහාසික ගමන තුළ අපට අනන්‍ය වූ දැනුම් සම්භාරයක් නිර්මාණය වී තිබෙනවා. අපටම අනන්‍ය වූ ආහාර පරිභෝජන රටාව දෙස බලන්න. එය නිර්මාණය වීමේදී කාන්තාවන්ගේ දායකත්වය ඉහළින්ම ලැබී තිබෙනවා.

‘භාෂාව සහ ආගම’

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුළු යුරෝපා ආක්‍රමණිකයන් මෙරට වසර 500ක් තිස්සේ යටත් කරගෙන සිටියත් ඔවුන්ට ස්වදේශිකයාගේ ආගම සහ භාෂාව වෙනස් කිරීමට නොහැකි වුණා. යම් රටක භාෂාව හා ආගම ආක්‍රමණිකයකුට වෙනස් කිරීමට හැකි වුණොත් ඒ රටේ සංස්කෘතිය ද ඒ අනුව වෙනස් වෙනවා. අපේ රටේ එහෙම වුණාට පෘතුගීසින්ට අවුරුදු 20ක් තුළ මුළු ලතින් ඇමරිකාවේම භාෂාව සහ ආගම වෙනස් කරන්න පුළුවන් වුණා. එතැන් සිට මුළු ලතින් ඇමරිකාවම කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාව හා වැළඳගත්තේ කිතු දහම. අපේ රටේ එහෙම නොවුණේ යුරෝපා ආක්‍රමණිකයා මේ රටට පැමිණෙන විට අපේ භාෂාව සහ ආගම මුල්කොටගෙන ගොඩනැගුණු සංස්කෘතියට අපි තදින් බැඳී සිටි නිසයි. ඒ සංස්කෘතික බලවත්භාවය නිසයි වසර 500ක් හිටියත් යුරෝපා ආක්‍රමණිකයාට තමන්ගේ භාෂාව හා ආගම ‘ගෙඩිය’ පිටින් ගිල්වන්න බැරි වුණේ.

‘ගෙදර බුදුන් අම්මා’

ගෙදර බුදුන් අම්මා කීවේ ඈත අතීතයේ සිටයි. බෞද්ධ සංස්කෘතියක් ඇතුළේ ජීවත් වන කෙනෙකුට බුදුන් වහන්සේ තමයි උතුම්ම සංකල්පය වන්නේ. නිවස තුළදී මව සමාන වන්නේ එවැනි සංකල්පයකටයි. මවගේ භූමිකාව ඉතිහාසයේ පටන් ඉතාමත් තීරණාත්මකව බලපා තිබෙනවා. නිදසුනක් ලෙස දුටුගැමුණු රජතුමාට මහා නරපතියකු බවට පත්වීමට එතුමන්ගේ මව වූ විහාරමහාදේවිය දැඩි සේ බලපෑවා. අපේ සංස්කෘතිය රැකුණේ නින්දා, අපහාස, ගැරහුම් මැද, නොසැලී තම භූමිකාව ඉටු කළ මව්වරුන් නිසයි. ඒ නිසයි සුද්දාට මේ රට අවුරුදු 500ක් යටත් කරගෙන සිටියත් සංස්කෘතික වශයෙන් කණපිට හැරවීමට නොහැකි වුණේ. ඒක තමයි මේ පොළොව රැකිලා තිබෙන බලය.

‘ජාතියක පැවැත්ම හා බැඳුණු බලය’

‘නුබේ අම්මා – කිරට ගියා
කිරි එරවා – එන්න ගියා
කිරි මුට්ටිය – ගඟේ ගියා
ගඟට උඩින් – කොක්කු ගියා’ වැනි කවි කියමින් කිරි දුන් අම්මා තම දරුවා පෝෂණය කළේ සංස්කෘතිමය වශයෙන් මොන තරම් බලවත්ව ද? අද ඇතැම් මවුවරුන් නම් ඉන්දීය මසාලා ටෙලිනාට්‍ය නරඹන අතරේ තමයි දරුවාට කිරි දෙන්නේ. එවිට ඒ දරුවාට ඒ කවිය අහන්න ලැබෙන්නෙ නැහැ. එවැනි කවි තුළින් තමයි එදා මව් ඇකයේ සිටින දරුවා තමන්ගේ සංස්කෘතික මූලයන් උකහා ගැනීම ඇරඹුවේ. සංස්කෘතික මූලයන් තමයි ජාතියක පැවැත්මට තිබෙන මූලිකම බලය. ඊශ්‍රායලය ගොඩනැඟුණු ආකාරය බලන්න. වසර සිය ගණනක් තිස්සේ රටක් නොතිබුණත් යුදෙව්වන් තම සංස්කෘතිය රැක ගත්තා. ඒ නිසයි පලස්තීනය කඩා හෝ ඔවුන් ඊශ්‍රාලය නිර්මාණය කර ගත්තේ. මා එය නිවැරදි යැයි කියන්නේ නැහැ. නමුත් ජාතියක පැවැත්ම රැක ගැනීමට එම ජාතිය සතු සංස්කෘතික මූලයන් රැක ගැනීම මොන තරම් වැදගත්ද, කියා පෙන්වා දීමට එය ඉතා වැදගත් නිදසුනක්. තමුන් අතීතයේ සිට රැගෙන එන සංස්කෘතික මූලයන් කොතරම් දුරට ආරක්ෂා කර ගන්නවාද, යන්න සමඟයි ජාතියක පැවැත්ම රඳා පවතින්නේ. අතීතයේ මේ සංස්කෘතික මූලයන් ආරක්ෂා කරගත් ප්‍රධානියා තමයි මව. මව තමයි ඒ සංස්කෘතික මූලයන් තම දරුවාට ලබා දුන්නේ.

‘බටහිර උවමනාව සහ විදග්ධයෝ’

දැන් බලන්න, රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් මේ ආණ්ඩුවේ ඇතැම් විදග්ධයන් කරන විවේචනයන්. ‘අලුත් වාහනයක් අරන් කතරගම ගිහින් පූජා වට්ටියක් තියලා වාහනයේ ඉස්සරහා දෙහි ගෙඩි දෙකකුත් ගහගෙන එන එක මොන තරම් විකාරයක්ද?’ කියා ඔවුන් අසනවා. හැම දෙනාටම එකම ආකාරයේ මානසික ශක්තියක්, ආත්ම විශ්වාසයක් නැහැ. එවැනි අයෙක් මෙවැනි දෙයක් කරලා මානසික ශක්තියක් ලබා ගැනීමෙන් කාටවත් හානියක් වෙනවාද? මෙය එක්තරා ආකාරයක මානසික සායනික ක්‍රමයක් නොවේද?

ඒ වගේම හොරෙක්, සතුරෙක්ට එරෙහිව වස් කවියක් කියා හෝ දෙවියන්ට කියා හෝ පිහිටක් පැතීමෙන් කිසිවකුටත් හානියක් වේද? හොරාට, සතුරාට එරෙහිව නිතීය අතට ගෙන ආවේගය පිට කිරීමට ගියොත් නොවෙයිද කෙනෙක් අමාරුවේ වැටෙන්නේ? දෙවියන්ට කීම, වස් කවි කීම මේ සියල්ලම ආවේගය පිට කිරීමට අපේ පැරැන්නන් සකසා ගත් සම්ප්‍රදායික මානසික සායනික ක්‍රම. අද ඒවා පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් තොරව මේ ‘විදග්ධයන්’ පහර ගහනවා. මේවාට පහර ගැසීම නොවෙයි සිදු විය යුත්තේ ඒවායේ ඇති සමාජ අදාළත්වය තේරුම් ගැනීමයි. මෙතැනදි සිදු වෙන්නෙත් අපේ සංස්කෘතික මූලයන්ට වෙනත් ආකාරයකින් පහර දීමක්. අපරදිගට උවමනා පෙරදිග මේ සංස්කෘතික මූලයන්ට පහර ගහන්න. මේ විදග්ධයන් ඉටු කරන්නේ ඒ කොන්ත්‍රාත්තුවයි.

‘බටහිර නීති අපට පැටවීම’

ඒ බටහිර උවමනාව ඉටුකර ගැනීමට නම් කාන්තාවට හා අපේ සමාජ බැඳීම්වලට පහර ගහන්න ඕනේ. ඒ සඳහා ඔවුන් යම් යම් අණ පනත් හඳුන්වා දෙනවා. ගෘහස්ථ හිංසනයට එරෙහි පනතක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ස්වාමිපුරුෂයා තදින් බැණ වැදුණත් නීතිය හමුවට යාමට බිරිඳට පුළුවන්. විය යුත්තේ දෙදෙනා ළං කරන නීති ගෙන ඒම මිස දෙදෙනා ඈත් කරන නීති ගෙන ඒම ද? දෙමාපියන් පහරක් දෙකක් ගසා දරුවන් හික්මවා ගන්නේ ඔවුන් යහමඟට ගැනීමට මිස වෙන කුමකට ද? මෙහිදී මට සිහියට එනවා පැරිසියේ විසූ එක්තරා ශ්‍රී ලාංකික දෙමළ ව්‍යාපාරිකයකු මුහුණ දුන් අත්දැකීමක්. තම දුව එක් දිනක රාත්‍රී සමාජ ශාලාවකට ගොස් පැමිණියාම ඔහු ඇයට කම්මුලට පහරක් ගසනවා. ඇය එරට නීතිය අනුව කටයුතු කරමින් එවෙලේම පියාට එරෙහිව දුරකථනයෙන් පැමිණිල්ලක් කරනවා. පියා අත්අඩංගුවට ගෙන සති දෙකක් සිරගත කෙරෙනවා. සිරෙන් නිදහස් වී පැමිණි පියා එරට සියලු දේවල් විකුණා දුව ඇතුළු සියලුදෙනා සමඟ යළි ලංකාවට පැමිණෙනවා. කටුනායක ගුවන් තොටුපළට පැමිණි වහාම පියා ඇයට අයගේ පාස්පෝට් එක අතට දී පහර දෙකක් ගසා කියනවා ‘දැන් කැමති නම් ප්‍රංශයේදී වගේ දුරකථන ඇමතුමක් දෙන්න’ කියා. අපි අපේ සංස්කෘතික මූලයන් රැක නොගතහොත් අපි කියා පිරිසක් ඉතිරි වන්නේ නැහැ.

‘අපි කවුද? – අනන්‍යතා අර්බුදය’

ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයේ වාසයට ගිය දෙමළ පවුල්වල දරුවන් පිරිසක් නාට්‍යයක් හැදුවා එහි නම ‘අපි කවුද?’ යන අදහස සහිත එකක්. ඒ දරුවන් ඉපදී ඇත්තේ බ්‍රිතාන්‍යයේ. ඔවුන් එම නාට්‍යයෙන් කියනවා ‘බ්‍රිතාන්‍ය අය අපිව එයාලගේ අය කියා පිළිගන්නේ නැහැ, අපේ මූලයන් වෙනස් නිසා. ලංකාවට ගියාම එහි සංස්කෘතියට අනුගත වීමට අපට අමාරුයි. එහෙමනම් අපි කවුද?’ කියා. එතැනදි සිදුව ඇත්තේ ‘අනන්‍යතා අර්බුදයක්’. එවැනි අනන්‍යතා අර්බුදයක් ගොඩනැගීම තමයි නොරටුන්ගේ උවමනාව.

‘ලාල්කාන්තගේ පුවත්පත් සාකච්ඡාව’

අපිව රැක්කේ අපේ ධර්මය, භාෂාව හා සංස්කෘතිය විසිනුයි. එහිදී කාන්තාව තමයි ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ. දැන් නොරටුන්ට වුවමනා වෙලා තිබෙනවා, ධර්මය, භාෂාව, සංස්කෘතිය රැක්ක කාන්තාව වෙනුවට ඒවාට ගරහන කාන්තාවක් මේ පොළොවේ නිර්මාණය කර ගන්න. ස්ත්‍රීවාදී රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ බලවේග අණ පනත් හා විවිධ උපක්‍රම යොදා ගනිමින් අද ඉහත මූලයන්ගෙන් අපේ කාන්තාව ගලවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ දිනවල සිරගතව සිටින “ලාල්කාන්ත සහෝදරයා’ එක්තරා පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මම බැලුවා. ‘ගමක ගෙවල් 100ක් තිබෙනවානම් ඒ හැම ගෙදරකම උයන්න ඕනේ නැහැ. ගමට හොඳට පිරිසිදුවට උයන එක හෝටලයක් තිබුණොත් ඇති. එවිට ගමේ හැමෝටම එතනින් කෑම ටික කන්න පුළුවන්. එවිට කාන්තාවන්ට දාඩිය පෙරාගෙන උයන්න ඕනේ නැහැ. ඇයට නිදහස ලැබෙනවා.’ වැනි අදහසක් එහි ගැබ්ව තිබුණා. ඒක වැරදි අදහසක්. ඔබලා බලාපොරොත්තු වන්නේ එවැනි නිදහසක්ද? අපට ගෙදර උයාගෙන පවුලක් විදියට ආහාර ගැනීමේ සම්ප්‍රදාය තුළ ලැබී තිබෙන්නේ පවුල අතර බැදීම් වැඩි කරන, අපේ ආහාර සංස්කෘතිය පිළිබඳ දැනුම අනාගත පරපුර කරා ගෙන යන නිදහසක් නොවේද?

‘සංස්කෘතිය රැගෙන යන ප්‍රධානතම වාහකයා’

අපේ කාන්තාවන් අද ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත්තත් පිරිමින්ට වඩා වැඩියි. රාජ්‍ය සේවයේ, විශ්ව විද්‍යාල තුළ කාන්තා ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. මේ සෑම සියලු කේෂ්ත්‍රයක් තුළින් ඉහළට එනවා වගේම මේ රටේ සංස්කෘතික මූලයන් අනාගත පරපුරට රැගෙන යන ප්‍රධානතම වාහකයා ද ඔබ බව මතක තබා ගත යුතුයි. අපේ සීයලා ආච්චිලා කවි, කතන්දර කියා දීමෙන් කළේ ඒ සංස්කෘතික මූලයන් ඉදිරි පරපුරට දායක කිරීම. චීනය තුළ වෙසෙන වයස්ගත වැඩිහිටියන්ට පැවරෙන එක් ස්වෙච්ඡා සේවයක් තමයි ළමා උයන්වලට පැමිණිලා අනාගත පරපුරට සිය අතීත අත්දැකීම් කියා දීම. අපේ අතීතය නොදත් වර්මාතන පරපුරකට අනාගතයක් ගොඩනැගීමට බැහැ. අපේ නිවැරදි අතීතය අද අපේ දරුවන්ගේ අධ්‍යාපනයෙන් ඉවත්කර තිබෙනවා.

‘සංස්කෘතික හඳවත’

අපේ ඇතැම් දරුවන්ගේ කය මේ පොළොවේ තිබුණාට මනස ඇත්තේ පැරිසිය, ලන්ඩනය වැනි යුරෝපා නගරයක. පැරීසියේ කොණ්ඩා විලාසිතාව අවුරුද්දක් පමණ යන විට ත්‍රිකුණාමල නගරයේ තරුණයාටත් ලැබෙනවා. මතුපිටින් වෙනස් වුණාට කමක් නැහැ. නමුත් ඔහුගේ සංස්කෘතික හදවත විය යුත්තේ අපේ සංස්කෘතික මූලයන් රැදුණු සංස්කෘතික හදවතයි.

‘අය – වැය පැරදුනොත් එන සටන’

අය -වැය ඉදිරිපත් කළාට එය ජයග්‍රහණය කිරීමට තමන්ට නොහැකි බව දැන් මරික්කාර් වැනි එජාප මන්ත්‍රීවරුන්ම කියනවා. අය වැය පැරදුනොත් 2/3ක ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තමයි සිදුවන්නේ. මහමැතිවරණයේදී බෙදුම්වාදී ව්‍යවස්ථා වෙනසකට එරෙහිව, ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව, විනයගරුක පුරවැසියන් සහිත රටක් හැදීමට ආදී සටන් පාඨ සහිතව අපට සටන් වැදීමට සිදු වෙනවා. ඒ වගේම එහිදී එන තවත් සටන් පාඨයක් තමයි අපේ සංස්කෘතික මූලයන් රැක ගැනීම. එම සටන් පාඨය මුල්කරගෙන සටන් වැදීමට වන්නේ කාන්තා ඔබටයි.

‘රුපියල අවප්‍රමාණය කරන වැඩ’

ලක්මව දියණියෝ සංවිධානය බිහිවූ දිනයේ පටන් ස්වදේශික අනන්‍යතාව බලසම්පන්න කිරීම වෙනුවෙන් සටන් වැඳුනා. වස විස කිරිපිටි පොවන මෙරට බහුජාතික සමාගම්වලට එරෙහි සටනේ පුරෝගාමී භූමිකාවක් ඉටු කරමින් ඉන්නෙත් ලක්මව දියණියෝයි. රුපියල අවප්‍රමාණය වන එක් කටයුත්තක් වී ඇත්තේ පිටරටින් කිරිපිටි ගෙන්වීමයි. බහුජාතික සමාගම්වල වෙළඳ ප්‍රචාරණයන් නිසා අපේ මව්වරුන් කිරිපිටි අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකනවා. තමන් බොන ගමන් දරුවන්ටත් පොවනවා. මා වසර 10කින් කිරිපිටි බී නැහැ. ඒ නිසා කිසිදු අඩුවක් දැනී නැහැ. ලෝකයේ පිටිකළ කිරි බොන රටවල් ඇත්තේ දෙක තුනක් පමණයි. දියර කිරි පානය පමණයි ලෝව පුරා ප්‍රචලිතව ඇත්තේ. අපේ රටේ වුවත් නැවුම් එළකිරි පරිභෝජනය පෙර සිට පැවති දෙයක්.

‘පිටරටට යන සල්ලි ටික’

කිරිපිටි බොනකොට විතරක් නොවෙයි දත් මදින විටත් රුපියල අවප්‍රමාණය වෙනවා. රටේ හදන සුදන්ත වැනි දත් බෙහෙත් වෙනුවට යුනිලීවර්ස් හදන සිග්නල් පාවිච්චි කරනවා. දත් බුරුසුවත් සිග්නල් – යුනිලීවර්ස්. ‘සිනා බෝ වේවා!’ දැන්වීමට අපි අහුවෙනවා. අපේ සුදන්ත සමාගම වැටෙනකොට යුනිලීවර්ස් එකතු කරගත් සල්ලි ටික බ්‍රිතාන්‍යයට යනවා. අපි ‘හලෝ’ කියනකොට මැලේසියාවට සල්ලි ටික යනවා. රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙනවා. පාන් සමඟ පරිප්පු කන විටත් සල්ලි ටික වෙනත් රටවලට යනවා, රුපියල අවප්‍රමාණය වෙනවා. කන පිගාන චීනයේ, ඒ සල්ලි ටික චීනයට යනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. අදින සාරිය ඉන්දියන්, ඒ සල්ලි ටිකත් ඉන්දියාවට යනවා, රුපියල අවප්‍රමාණය වෙනවා. අර අගමැතිතුමා කියපු එක විතරක් ඇන්දොත් “මේඞ් ඉන් ශ්‍රී ලංකා’ වෙනවා. (සභාවේ සිනා) අපි දෛනිකව කරන වැඩවලින් 70%වකින්ම සල්ලි ටික පිටරටට යනවා. මේක නැවැත්විය හැක්කේ කාන්තාවට. ඔබට තමයි පුළුවන් මේ අනවශ්‍ය පරිභෝජන රටාව නතර කර එය මේ රටට ඔබින පරිභෝජන රටාවකට වෙනස් කිරීමට.

මේ විදියට රටකට ඉදිරියට යන්න බැහැ. ස්වදේශිය අනන්‍යතාව බලවත් සේ රකින මහජන ආවේගයක්, අනුරාගී හැගීමක් ඒ සඳහා තිබිය යුතු වෙනවා. එය කිරීමේ හැකියාව, ශක්තිය ඇත්තේ කාන්තා ඔබටයි. ඒ ඓතිහාසික යුග මෙහෙවර ඉටුකරන කාන්තා ව්‍යාපාරය හැටියට ඒ අභියෝගය ජය ගැනීමට ප්‍රියංගා කොතලාවල සහෝදරිය ඇතුළු ලක්මව දියණියන්ට ධෛර්යය සහ ශක්තිය පතනවා.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ