මෛත්‍රී - රනිල් - මහින්ද එකඟතාවයකට ජාත්‍යන්තර මැදිහත්වීමක් !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක අතර එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා රාජතන්ත්‍රීක මට්ටමේ මැදිහත්වීමක් මේවනවිට සිදුවෙමින් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිටින බටහිර රටක තානාපතිවරයකු සක්‍රිය ලෙස මැදිහත්ව සිටින අතර ඊට ඉන්දියාවේ හා ඇමරිකාවේ සහයද පලවී ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නෙරපා හැර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමෙන් අරාජික වූ ශ්‍රී ලංකාව යලි යථාතත්වයට පත්කිරීමට මැදිහත්වුයේද මෙම තානාපතිවරයාය.

ඒ සඳහා ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය වෙනුවෙන් මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් සමග ද මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා සමග ද ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති උපදේශක නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතා සමග ද වෙන වෙනම දීර්ග ලෙස සාකච්ජා පවත්වමින් යළි සාමකාමී බලහුවමාරුවකට ඔවුන් අතර එකඟතාවයක් ඇතිකර ගැනීමට කටයුතු කළේය.

මේ සඳහා අතර මැදි කාර්ය භාරයක් ඉටුකර තිබුනේ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියකු වන හර්ෂ කුමාර නවරත්න මහතා ය.

මෛත්‍රීගේ අනාගතය ?

එසේ ඔක්තෝම්බර් 26 අවුල සමතයකය පත්කළ තානාපතිවරයාට, ශ්‍රී ලංකාව තුල දේශපාලන සංහිඳියාවක් ඇති කිරීමට දායකවන ලෙස පක්ෂ නායකයින් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලීම් ලැබී ඇත.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ එකඟත්වය පළකර ඇතත් එසේ ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන අනාගතය වෙනුවෙන් දිය හැකි සහතිකය කුමක්දැයි එකඟතාවයක් ඇතිකර ගැනීමට එම තානාපතිවරයා මේවනවිට සාකච්ජා ආරම්භ කර තිබේ.

එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟත්වය ලබාගැනීම සඳහා ඔහුට තවත් වසර කිහිපයකට බලපැවැත්වෙන පරිදි නාමමත්‍රීක ජනාධිපති ධුරයක් හඳුන්වාදීමට මේවනවිට යෝජනා වී ඇත.

මහින්ද - ජවිපෙ හමුවන 'නැකත' 6 වැනිදා:

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ නිල සාකච්ඡාව ලබන හය වැනිදා සවස 4.00 ට විපක්‍ෂ නායක කාර්යාලයේදී සිදු කෙරෙන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා 'දිවයින' පුවත්පතට ප්‍රකාශකර ඇත.

එම සාකච්ඡාව සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත්, කේ. ඩී. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්‌ස යන පස්‌දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ එක්‌වීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කිරීමට නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතු බවත් එම ක්‍රමය නඩත්තු කිරීම සඳහා වන දැවැන්ත වියදම ජාතික අපරාධයක්‌ බවත් විජිත හේරත් මහතා පවසයි.
gossip lanka