මෛත‍්‍රී-රනිල් නොගැලපෙන ආණ්ඩුව මතක ඇති තාක් නොගැලපෙන ආණ්ඩුවක් ජනතාව යලි ඇති නොකරාවි - කුමාරසිරි හෙට්ටිගේ

නොගැලපෙන නායකයන්ගේ එකතුවකින් අටවා ගත් ආණ්ඩුවක් නිසා අප රටට කුමන අංශයකින්වත් කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් මෙය අද අප රටක් ලෙස මුහුණ දී තිබෙන ඛේදනීය ඉරණම බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය.

මෛත්‍රී – රනිල් ආණ්ඩුව ඉතිහාසයට එකතු වන්නේ රට ආපස්සට ගිය අදුරු යුගයක් ලෙසයි.

ඒ ගැන මතක තිබෙන තාක් කල් නොගැලපෙන නායකයන්ගේ එකතුවකින් ආණ්ඩුවක් නම් යළි මෙරට බිහි කිරීමට ජනතාව පෙළ ගැසෙන්නේ නැති බව කී ඒ මහතා ,දැන් අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ රට වැටි ඇති විපතින් ගලවා ගැනීමට සුදුසු ක්‍රම සහ විධි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම යැයි ද සදහන් කළේය .

ඒ මහතා එසේ කීවේ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල් ක්‍රීඩාංගනයේ පසු ගිය දා (4) පැවති කෙන්ටකි පරිගණක පාසල මගින් සවිධානය කරන ලද වාර්ෂික ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයන්ට කුසලාන සහ ත්‍යාග පිරි නැමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය.

රටේ කිසිදු අංශයක දියුණුවක් නෑ.ක්‍රීඩාවත් එහෙමයි.සිරිතක් හැටියට පරදින ,ඉඳ හිට ජය ගන්නා තැනට එය වැටිලා.රටේ වැටීම ක්‍රීඩාවටත් බලපානවා .පාලකයන් කරන විකාර වැඩනිසා රටේ හැම අංශයක්ම අවුල් .ක්‍රීඩාවෙන් එදා අප රට ලෝකය හමුවේ ජය කෙහෙළි නැංවුවා .දැන් ඒ කීර්ති රාවය මතු වෙන්නේ කලාතුරකින්.

දැක්මක් අරමුණක් හා විනයක් නැති නායකයන් ඉන්න රටක කුමක් බලාපොරොත්තු විය හැකිද ?නොගැලපෙන අයගේ එකතුවකින් ජයග්‍රහණ ලැබෙන්නේ නෑ.අප රටේ ත්‍රස්තවාදය පරාජය කරන්න හැකි වුනේ ගැලපෙන අය එක් අරමුණකින් එකතු වීම නිසා .මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය තමයි එහි මහා පොදු සාධකය .තම සහෝදරයන්ට නිසි වගකීම් දුන්නා.ඒ අය වගකීම් හරියට ඉටු කළා .යුද්ධයට අවශ්‍ය මුදල් සොයා ගෙන ආර්ථිකය හසුරුවා ගන්න සුදුස්සන් පත් කළා.ක්‍රිකට් තරඟයක් අවසානයේ තරඟයේ වීරයෙක් සිටිනවා සේ යුද ජයග්‍රහණයේද වීරයෙක් සිටිනවා .ඒ තමයි මහින්ද රාජපක්‍ෂ නම් වූ අසම සම නායකයා . මුලු ලෝකයම එය පිළිගත්තා .

නොගැලපෙන එකතුවකින් ආණ්ඩුවක් හදල අවරුදු 4 කට පසු රටට සිදු වූ විපත්තිය සුලුපටු නෑ. මහින්ද රාජපක්ෂ මහතා රට බාර දෙන කොට ආර්ථික වර්ධනය 7.4 %.අද වන විට එය 2.8 % .ආර්ථික වර්ධන වේගයෙන් එදා දකුණු ආසියාවේ මුල් තැන ගත් අපි දැන් ඇෆ්ඝනිස්ථානය ළඟ .තිබුණු රැකියා වලින් ලක්ෂ 5ක් පමණ දැනටමත් නැති වෙලා .රටේ සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 8.2 සිට 6 දක්වා පිරිහිලා .පොලී අනුපාතය 10 % සිට 16 % දක්වා වැඩිවෙලා .රුපියලේ අගය නරක විදියට වැටුනා .හැම ජන කොටසකින්ම දැන් ඇසෙන්නේ දුක් බර කතා පමණයි .නායකයන් ඒ ගැන සංවේදී නෑ .

රවී කරුණානායක ඇමතිවරයා කියනවා රට බංකොලොත් කියලා .අගමැති කියනවා ණය ගෙවා ගන්න බෑ කියල .ජනාධිපතිවරයා කියන්නෙ මේ ආණ්ඩුවෙ අයත් එක්ක රට ගෙනියන්න බෑ දූෂිතයි කියල .ජනාධිපතිවරයා එහෙම කියන්නේ කොහොමද එයා තමයි ආණ්ඩුවේත් කැබිනට් මණ්ඩලයේත් නායකයා කියා එජාප මන්ත්‍රීලා චෝදනා කරනවා.ඒ කතාවෙ නම් ඇත්තක් තිබෙනවා .මේ වගේ ආණ්ඩු තවත් ලෝකයේ කොහෙද තියෙන්නෙ ?මේවා අහන මිනිස්සුන්ගේ ඉවසීම ගැන පුදුම හිතෙනවා .නොගැලපෙන එකතුවකින් ආණ්ඩු කරන්න ගිය අයම අද හොඳ පාඩමක් ඉගෙන ගෙන .සිදු වූ වරද පිළිගෙන දැන්වත් නායකයන් රට ගැන සිතා තීන්දු ගන්න ඕනෑ .

ඒ අයට මොනවා වුනත් අපට ප්‍රශ්නයක් නෑ .අප බේරා ගත යුත්තේ රට සහ ජනතාවයි .ඒ වෙනුවෙන් රට ගැන හිතන සියලු දෙනා පෙළ ගැසෙන්න ඕනෑ .

මෙහිදී ජයග්‍රාහකයන්ට ජය සංකේත පිරි නැමීම ද හෙට්ටිගේ මහතා අතින් සිදු කෙරිණි .