'කරන්නාගොඩ ඇතුලට දැම්මොත් අපි ගොඩ' - මහින්ද කියයි

ආණ්ඩුව විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහොත් තම පාර්ශවයට නියත ජයග්‍රහණයක් හිමිවනු ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වැල්වත්තේදී තරුණයන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් කරන්නාගොඩ චූදිතයකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට සීඅයිඞීය සූදානම් වන්නේ යයි සන්ධාන මන්ත්‍රීවරයකු පැවසු අවස්ථාවේදී එබව සඳහන් කර ඇති විපක්ෂ නායකවරයා, ''කනන්නාගොඩ අහිංසක එකා. පොලිසිය කරන්නාගොඩ අත්අඩංගුවට ගත්තොත් ආණ්ඩුව කපෝති. ත්‍රීවිධ හමුදාවම ආණ්ඩුවට එරෙහිවෙනවා. ආණ්ඩුව එහෙම කලොත් වෙන මොකුත් නොකලත් අපි ගොඩ..'' යයි පවසා ඇත.

ජාත්‍යන්තර පාසලක සිසුන් 06 දෙනකු ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා රහස් කඳවුරක රඳවා සිට අනතුරුව ඔවුන් සියලු දෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ මුල්ම පැමිණිලිකරු වන්නේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාය. ඔහු විසින් එම එම පැමිණිල්ල පොලිසිය වෙත කර ඈත්තේ, තමන්ගේ සමීප නිලධාරියකු ලෙස කටයුතු කල නිලන්ත සම්පත් මුණසිංහ හෙවත් 'නේවි සම්පත්'ට එරෙහිවය.

ජනාධිපති අසීරුතාවයක !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ දී අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය.

එහෙත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් එසේ අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධීකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම හේතුවෙන් එකී උත්සාහය තරමක් ව්‍යර්ථ වූ අතර මේවනවිට ඔහු සැඟවී සිටියි.

එහෙත් මෙම සිද්ධියේ චූදිතයන් ලෙස නුදුරේදීම අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා බුද්ධි බළකායේ දොළොස් දෙනකුට එරෙහිව පොලිසිය විසින් අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට යයි.

මේවනවිට පොලිසිය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

රණවිරුවාට වටින්නේ ජීවිතය නොව ඔහුගේ අභිමානය ඔබත්, එම අභිමානය කෙළෙසන ආකාරයට සිදු කරන අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙසත් හිටපු හමුදාපතිවරු තිදෙනෙක් ජනාධිපතිවරයාගෙන් පසුගිය 20දා ඉල්ලීමක් කලේ ඒ අනුවය.

මෙම ඉල්ලීම කරනු ලැබුවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන් විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුනේ, හිටපු නාවික හමුදාපතිවරයකු වන වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට වාර්තාවීම හේතුවෙනි.

ජනාධිපති මෛත්‍රීගේ ස්ථාවරය : 'රණවිරු දඩයමක් නැහැ'

කෙසේවුවද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ තුන් වැනි සැසි වාරයට සහභාගිවීමට පසුගිය වසරේ නිව්යෝර්ක් නුවරට ගිය අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේ දී අවධාරණය කර සිටියේ, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සෙබලාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලූදෙනාගේ අභිමානය සුරැකීමට තම රජය නිරන්තරයෙන් කැපවී සිටින බවයි. රණවිරුවන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප්‍රසාද නොඅඩුව ලබාදෙන බවට ඔහු එහිදී සහතික විය.

යුද්ධය පැවති සමයේදී මෙන්ම ඉන් පසුව ද යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සුහඳ හමුවේදී අවධාරණය කළේය.

2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව ද ඔහු සදහන් කළේය.

යුද්ධයෙන් බාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලූදෙනාට නීතිය ක්‍රියාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-srilankamirror