මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක් !

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳ තමා ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා ප‍වසයි. ඔහු ඒ බව පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය පාලනය හා අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (01) පැවති විශේෂ සාකච්ඡාවකදීය.

 මත්ද්‍රව්‍ය අපරාධවලට අදාළ නඩු විභාග වීමට දීර්ඝකාලයක් ගතවීම, මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළට මහත් බාධාවක් වී ඇති බව එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය වහා නිවැරදි විය යුතු බව ද අවධාරණය කර තිබේ.

දැනට තිබෙන මහාධිකරණ සංකීර්ණයේම එම නව අධිකරණය ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

පාසල් ළමුන් බාබුල් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප‍්‍රවණතාවය වැඩිවීම සම්බන්ධයෙන්ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

නීතිමය ප‍්‍රතිපාදන නොමැති බැවින් මේ සඳහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වී ඇති බව විදුහල්පතිවරුන්ගෙන් සහ පොලිස් නිලධාරින්ගෙන් තමන් වෙත තොරතුරු ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඊට අදාළ නීතිමය සංශෝධන පිළිබඳවද නිලධාරීන්ගේ අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කරයි.