මාකඳුරේ මධුෂ් ලංකාවට රැගෙන එන්න එපා : මධුෂ්ගේ ඥාතියෙකු ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මාකඳුරේ මධුෂ්ව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒම වළක්වන්නයි ඉල්ලා සුරියවැව ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පුංචි අම්මා වන ඒ.ඩබ්ලිව්. ශ්‍රියානි නමැත්තිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද (14) ගොනු කර තිබෙනවා. පොලිසිය විසින් නීති විරෝධි ආකාරයට මධුෂ්ව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ සුදානමක් පවතින බැවින් එමගින් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩවන බව පවසා එයට එරෙහිව තහනම් නියෝගයක් පනවන මෙන් පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් ඇතුළු 20 දෙනෙක් එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඉකුත් පෙබරවාරි මාසයේදී මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙක් ඩුබායි හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ වන විට එම පිරිස මාර්තු මස 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස එරට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.