මහින්ද හා ජවිපෙ සාකච්ඡාවක් නැහැ - මහින්ද යාපා කියයි

මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවනු ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියි.

මාතර ඊයේ (03) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ "මාධ්‍ය මොනවා වාර්තා කළත් මහින්ද රාජපක්ෂ මහත්තයාත් අනුර කුමාරත් අතරේ කිසිම සාකච්ඡාවක් මේ වෙනකම් සිදුවෙලත් නෑ..අපේ දැනීමේ හැටියට හෙට අනිද්දා සිදුවෙන විදිහේ පරිසරයකුත් නෑ" යනුවෙනි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් එකග වුවහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියි.

මුළු රටටම ඉල්ලන ගෝඨාභය රාජපක්ෂයන් මහින්ද කඳවුරේ සිටියදී ‘විධායක ජනාධිපති ක්‍රමය එපා!’ කියන එජාප – ජවිපෙ උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වීමට තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණ මොහොතක්වත් ප්‍රමාද නොවන බව එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා පසුගියදා මොරටුව නගරයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

''මහින්ද කැමතියි'' - ජවිපෙ කියයි 

කෙසේවුවද ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග අනිද්දා (06) සාකච්ඡාවකට එක්වන බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගතහැකි පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පානදුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් කියා සිටියේය.

"විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කැමතියි කියලා මහින්ද රාජපක්ෂ විපක්ෂනායකතුමා කියලා තිබුණා. ජනතාවගේ පැතුම විධායකය අහෝසි කිරීමයි කියලා එතුමා සති දෙකකට කලින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරලා තිබුණා. 2005දීත් 2010දීත් එතුමා කිව්වා. ඒ නිසා අද පවතින මේ තත්ත්වයත් සමග අපි මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරනවා" යයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

'ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි' - මහින්ද කියයි

මේ අතර ඊයේ (03) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුයේ,
තමන් ප්‍රතිපත්තිමය වශයෙන් විසිවැනි සංශෝධනය අනුමත කළ ද , එවැනි සංශෝධනයක් සඳහා වත්මන් ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බවයි.

කෙසේවුවද ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ජා කරන බවද ඔහු කියා සිටියේය. විපක්ෂ නායකයා ලෙස විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ජා කිරීම තමන්ගේ වගකීමක් බවද ඔහු කියා සිටියේය.