එස්.බී.ත් මෛත්‍රීට එරෙහිව යන ලකුණු !

අය-වැය අවසන් ඡන්ද විමසීමේදී ඊට විරෝධය පළකරමින් සිය ඡන්දය භාවිත කරන බව ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කල එස්.බී. දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ද නම් කර ඇති ඔහු මේබව සඳහන් කලේ ඊයේ (16) මහනුවරදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල හමුවේ අදහස් දක්වමිනි.

අයවැය ඡන්ද විමසීමේ ප්‍රථම අවස්ථාවේදීම ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට අදහස් කළ නමුත් පක්ෂ සමගිය ආරක්ෂා කිරීම සඳහා අය-වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉහළින් පැමිණි උපදෙසක් අනුව ක්‍රියාකිරීමට සිදුවුණු බව ද ඔහු එහිදී කියා සිටියේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ට හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තරයේ අදහස් කළත් පක්ෂයේ සමගිය ආරක්ෂා කරගැනීම සඳහා ලැබුණු උපදෙස අනුව ක්‍රියා කළ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට එරෙහිව ඡන්දය ලබාදීමට තීරණය කර තිබුන ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත අවසන් මොහොතේදී එම තීරණය හකුලා ගෙන තිබිණ.

හොරිකඩයන් කව්ද ?

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රීක් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රි යදර්ශණ යාපා මහතා පැවසුයේ, හොරිකඩයන් සිටින තුරු අයවැය පරාජය කල නොහැකි බවයි.

‘ගම සමග පිලිසදරක්’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමු මාලාවේ ජනහමුවක් අමතමින් එබව පැවසු මන්ත්‍රීවරයා,
අද හොරිකඩයන් වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් යයිද චෝදනා කර සිටියේය.

අයවැය පරාජය කරන්නට ඡන්දය දෙන බවට පොරොන්දු වී සිටි ශ්‍රී ලනිපය හවස නැගිට යන්නට ගිය බවද ඒ මහතා එහිදී පැවසිය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම කණගාටුදායක තත්ත්වයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ (16)  සඳහන් කළේය. ඒ, මාතලේ මුවන්දෙණිය ශ්‍රී ධර්මාලෝක විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.