පාසල් කම්කරුවන් කිට මරා ඇවිත් ළමුන්ගෙන් වැඩ අරගෙන

දකුණු පළාතේ පාසල් කම්කරු තනතුරු 4000 ක පිරිස තමන්ගේ සේවය නිසි ලෙස ඉටු නොකරමින් පාසල් දරුවන්ගෙන් එම වැඩ කටයුතු ඉටු කරවා ගන්නා බවට මව්පියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ගාල්ල, ඇල්පිටිය, අම්බලන්ගොඩ, උඩුගම, මාතර, මුලටියන, දෙනියාය, අකුරැස්ස, වලස්මුල්ල, තංගල්ල හා හම්බන්තොට යන අධ්‍යාපන කලාප 11 තුළ ඇති පාසල් 1040 ක දැනට සිටින පාසල් කම්කරු තනතුරු දරණ 4000 කට වැඩි පිරිසක් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන්නේ ඔවුන්ගේ දේශපාලන ශක්තිය උපයෝගි කරගෙන බවද ලංකා ගුරු සංගම්ය ඇතුළු අධ්‍යාපන ගුරු සංගම් එකතුව ප්‍රකාශ කරයි.

පාසල් කම්කරු, සනිපාරක්ෂක කම්කරු, රසායානාගාර සේවක, පාසල් මුරකරු, පුස්තකාල සහායක යන තනතුරු වලට පත්කර ඇති ඇතැම් සේවක සේවිකාවෝ ගුරු වෘත්තියේ නියැලෙන ආකාරයට පාසල තුල සැරිසරන්නේ පාසල් ප්‍රධානින් හා ගුරු මව්පියන් දෙන වැඩ නියමයන් පැහැර හරිමින් තමන්ගේ හිතුමතේට වැඩ කරමින් බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේය.

මෙවැනි අය පාසල් ගුරුවරුන් ලෙස සමාජයට පෙන්වීමට කටයුතු කරමින් සිටින බවත් එසේ කරන්නේ ඔවුන්ට නිල ඇඳුමක් නොමැති නිසා බවත් දෙමාපියෝ ප්‍රකාශ කරති. මොවුන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලෙස හැඳ පැළඳගෙන පිරිසිදුව පාසල තුළ රැදි සිටීම නිසා මොවුන් ගුරුවරුන් යැයි දරුවන් සිතන බවත් ඒ හේතුවෙන් දරුවන්ගෙන් වැඩ ගැනීමට මොවුන්ට හැකි වී තිබෙන බවත් පාසැල්වලට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය.

පාසල් වල ඉහත තනතුරු සදහා පත්කර ඇති අයගේ අවම වැටුප රුප්යල් 23,000/- ක් වුවත් ඔවුන්ගේ සේවා කාලය අනුව ඇතැම් පිරිස් රුපියල් 45,000/- කට ආසන්න මාසික වැටුපක් උපයන බවත් ජෝෂප් ස්ටාලීන් මහතා ප්‍රකාශ කළේය.

මොවුන් උදෑසන 7.00 ට සේවයට වාර්තා කළ යුතු වුවද ඇතැම් අය 7.30 න් පසුව පාසලේ සේවයට පැමිණෙයි. එලෙස පැමිණෙන අය පාසල් දරුවන් යොදවා ගෙන තමන්ට පැවරි ඇති වැඩ කොටස් ඉටු කරවා ගන්නා බව බොහෝ අවස්ථාවලදි තමන් පෙන්වා දි ඇති දකුණු පළාත් විදුහල්පති සංගමයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙලෙස සේවය කරන පිරිස් ඔවුන්ට අයත් පාසල් පන්තිකාමර පිරිසිදු කිරීම, වැසිකිළි කැසිකිලි පද්ධති පිරිසිදු කිරිම, පාසල් ගොඩනැගිලි කොරිඩෝව පිරිසිදු කිරිම, කාණු පද්ධති පිරිසිදු කිරීම, පානිය ළිං අවට පිරිසිදු කිරීම, පන්ති කාමර ආශ්‍රිතව මිදුල අතුගා පිරිසිදු කිරීම ආදිය සිදු කළ යුතු වුවත් ඇතැම් අය එම වැඩ කටයුතු ප්‍රාථමික ශ්‍රේණිවල සිට ඉහළ ශ්‍රේණිවල පාසල් දරු දැරියන් උපයෝගි කරගෙන ඉටුකරවා ගන්නා බව ඉතා වගකීමෙන් පවසන බව දෙමව්පියෝ කියති.

ප්‍රාථමික පාසල්වල සිටින එවැනි තනතුරු දරන්නන් 03,04 සහ 05 ශ්‍රේණිවල සිඟිති දරුවන් යොදවාගෙන පන්ති කාමර කොරිඩෝ පාසල් ගොඩනැගිලිවල කාණු පද්ධතීන් පවා පිරිසිදු කරවා ගනී. මේ නිසා ගෙදරින් ඇදගෙන එන පිරිසිදු ඇඳුම් අපිරිසිදු වන ලෙස වැඩ ගැනීම හේතුවෙන් දරුවන්ට අපිරිසිදු කිලිටි ඇදුම් ඇදගෙන පාසල් අධ්‍යාපන කටයුතුවල යෙදීමට සිදුවන බව ද දෙමාපියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිල්වලා ආදර්ශ කනිටු විදුහලේ කම්කරු නෝනා

මේ අතර විශේෂයෙන් මාතර අධ්‍යාපන කලාපයේ නිල්වලා ආදර්ශ කනිටු විදුහලේ පාසල් කම්කරු තනතුරක් දරන කාන්තාවක් තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකරමින් හිතුවක්කාර මුරණ්ඩු ලෙස හැසිරෙමින් කටයුතු කරන බවද වාර්තාවේ. ඇය විදුහල්පතිවරයාගේ හා ගුරුවරන්ගේ අණ නොතකා කටයුතු කිරිමත් යම් නියෝගයක් ලැබුණහොත් එම ගුරුවරුන්ට තම සැමියා හා එක්ව මරණ තර්ජන එල්ල කළ අවස්ථා තිබෙන බවත් දැනගන්නට තිබේ.

එවන් සිදුවීමක් හේතුවෙන් 2019.02.21 දින මාතර පොලිසියට CIB 2/57/291 අංකය දරණ පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙන බවත් එය සත්‍යයක් බව මාතර පොලිසියේ ප්‍රකාශකයෙක්ද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි වික්‍රමසිරි මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

එවැනි සිද්ධින් සම්බන්ධව පැමිණිලි ලැබී තිබෙනවා. මාතර නිල්වලා ආදර්ශ කනිටු විද්‍යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුවත් නැහැ. මාධ්‍යවේදීන්ට ඉක්මනින් තොරතුරු එනවා. ඒවා මාධ්‍ය මගින් හෝ දැක්කම අදාල අංශ දැනුවත් කරන්න අපි කටයුතු කරනවා. මේ සම්බන්ධව වහාම සොයල බලන්න කටයුතු කරනවා. ඒ වගේ සිද්ධින් තියෙනවනම් එවා පත්තරවලින් හෝ පෙන්වාදීම ගැන සතුටු වෙනවා.