ගෝඨාභය යුද්දෙට බයේ රටින් පැනල ගියා.. ජනාධීපතිකම අහෝසි කරන්නෙ ඔහුට බයේ නොවෙයි

‘චන්ද්‍රිකා මැතිණිය, මහින්ද මහත්තය දෙවරක් ජනාධිකම අහෝසි කරන බව කිව්වා. සිරිසේන මහත්තයා ආවේ ජනාධිපති ධූරය අහෝසි කරන්න. 20 වැනි සංශෝධනය සම්මත කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් අවශ්‍යයි. අපි විපක්ෂ නායක තුමා වුණා. ලබන සදුදා දෙමල සන්ධානය සමග සාකච්ඡා කරනවා. සමහර අය කියනවා අපි මහින්දත් එක්ක රට හදන්න හදනවලු.
මහින්ද රනිල් මෛත්‍රීපාල සමග රට හදන්න බැහැ කියල අපි තීරණය කර අවසන්’ යැයි ජනතා විමුක්කි පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (10) බළපිටියේදී ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල මහත්තයා, රටේ මත් දව්‍ය, කසිප්පු නැති කරනවා කියනවා. මේවා කිව්වම අපේ කාන්තාවෝ කැමතියි. බොන මිනිහා කොහොමත් බොනවා. කසිප්පු නැති කරාම මිනිස්සු අරක්කු වලට පුරුදු වන බව ප්‍රකාශ කල ටිල්වින් සිල්වා මහතා මත් දව්‍ය ජාවාරම් කරුවන් එල්ලන බව කියන්නේද බොරුට යැයි අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ බළපිටිය ආසන බල මණ්ඩලය පිහිටුවීමෙන් පසුව පැවති උත්සවයේදී ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය. රැස්වීම බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

අද දුප්පත්කම විශාල වශයෙන් තිබෙනවා. නමුත් දරුවන්ට ළමා කාලය අහිමි වෙලා. මිනිස්සු මනුෂත්වය අතහැර මුදල් පසුපස ගොස් තිබෙනවා. දරුවා පාසැලට දාගන්න අල්ලස් දෙන්න වෙලා. ගාල්ලේ විදුහල්පතිනියක් රුපියල් ලක්ෂයක් අල්ලස් අරන් අත් අඩංගුවට ගත්තා. වැඩිහිටියන් බලු කූඩුවේ දමල හදන සමාජයක් අද තිබෙන්නේ. ඒ නිසා මේ සමාජයට වඩා හොද සමාජයක් නිර්මාණය කලහැකි වෙනසක් රටට අවශ්‍යයි.

අපි වසර 71 ක් කොලපාටට, නිල්පාටට කතිරය ගහල මේ වන විට රට බෙදිලයි තිබෙන්නේ. අද අපේ රට රුපියල් කෝටි දස ලක්ෂයක් විදේශයන්ට නය වෙලා. ලෝකයේ බොහෝ රටවල් අපේ රටෙන් නය වාරික ඉල්ලා සිටිනවා. චීනයෙන් නය අරන් හම්බන්තොට වරාය හැදුවා. නය ගෙවා ගන්න බැරි වුණාම වරාය චීනයට දෙන්න වුණා. අපේ රටේ කුඹුරු කරන්න පුළුවන් කම තිබෙද්දි කර්මාන්ත කරන්න පුළුවන් කම තිබෙද්දි රට නය උගුලක හිර කරල. රට සංවර්ධනය කරා කියල ආණ්ඩුව පම්පෝරි ගහනවා. නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවා කියනවා. නමුත් රටේ ජනතාවට සාමය නැහැ.

රටේ වාහනයක් අරන් පාරට බහින මිනිස්සුන්ගෙන් සැලකිය යුතු කොටසක් ආපසු එන්නේ නැහැ. මිනිස්සු ප්‍රශ්ණත් එක්කයි පාරට බහින්නේ. ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමා රට ගොඩනගන්න සැලසුම් හදන්නේ නැහැ. ඒ අය සියළු කාලය වැය කරන්නේ ඊලග ඡන්දයෙන් දිනන්නේ කොහොමද කියල බලන්නයි. සිරිසේන මහත්තයා ආවේ ජනාධිපති ක්‍රමය නැති කරන්නයි. එතුමා කිව්වේ තමා අවසන් ජනාධිපති කියලයි. දැන් එතුමා මහන්සි වෙන්නේ රටේ මත් දව්‍ය නැති කරන්නයි. කසිප්පු නැති කරනවා කියනවා. මේවා කිව්වම අපේ කාන්තාවෝ ටිකක් කැමතියි. මොකද මහත්වරු උපයන සල්ලි වලින් ලොකු කොටසක බොන නිසා. හැබැයි බොන මිනිහා කොහොමත් බොනවා. කසිප්පු නැති කරාම මිනිස්සු අරක්කු වලට පුරුදු වෙනවා. දැන් අරක්කු වල බදු වැඩියි. අන්තිමට වෙන්නේ කසිප්පු බිව්වට වඩා ගානක් අරක්කු වලට වැඩි ගානක් යන එකයි.

අපේ රටේ හෙරොයින් හදන්නේ නැහැ. පොපී මලෙන් ගන්න ශ්‍රාවයෙන් හෙරොයින් හදන්නේ. අපේ රට දූපතක්. රට වටේටම මුහුද තිබෙන්නේ. හොද නාවුක හමුදාවත් තිබෙනවා. මුහුදෙන් හෙරොයින් එන එක වලක්වන්න පුළුවන්. ගුවනේ ආරක්ෂාවත් හොදට තිබෙනවා. ගුවනෙන් හෙරොයින් එන එකත් වලක්වන්න පුළුවන්. හෙරොයින් ලංකාවට ගේන අය දේශපාලනඥයින් එක්ක සම්බන්ධයි. පසුගිය ආණ්ඩු කාලයේ කුඩු කන්ටේනරයක් ගෙනාවා. දිමු ජයරත්න අගමැතිතුමාගේ ලියුමකට එය මුදා හැරියා. කුඩු ජාවාරම් කරන අය එල්ලලා මරණවා කියනවා. එල්ලන කඹයත් ගෙනාවලු. එල්ලන රාජකාරිය කරන අයත් අයදුම්පත්‍ර කැදවල බදවාගෙන තිබෙනවා. හැබැයි කව්රුවත් එල්ලුවේ නැහැ. මේවා බොරු කතා.

මහින්ද මහත්තයා මතට තිත කියල, වැඩ සටහනක් ආරම්භ කළා. ඒ ඇමති මණ්ඩලයේම කුරුණෑගල මිනිහෙක් එතනෝල් ගෙනැල්ල අරක්කු නිශ්පාදනය කළා. මාතලේ නියෝජ්‍ය ඇමතිවරයෙක් හාල් වලින් බියර් හැදුවා. අන්තිමට තිතට මත ක්‍රියාත්මක වුණා.

චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවරක් ජනාධිපති ධූරය අහෝසි කරන බව කිව්වා. මහින්ද මහත්තයත් ඒ කතාවම දෙපාරක් කිව්වා. සිරිසේන මහත්තයා ආවෙත් ජනාධිපති ධූරය අහෝසි කරන්න. දැන් අපි ඒ සදහා 20 වැනි සංශෝධනය ගෙනැත් තිබෙනවා. මේ සදහා පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් අවශ්‍යයි. ඒ සදහා අපි පසුගිය සතියේ විපක්ෂ නායක තුමා සමග සාකච්ඡා කළා. ලබන සදුදා දෙමල සන්ධානය සමග සාකච්ඡා කරනවා. සමහර අය කියනවා මහින්ද හමුවෙලා මහින්ද සමග දේශපාලනය කරන්න කතා කළාලු. අපි මහින්දත් එක්ක රට හදන්න හදනවලු. අපි තීරණය කරල ඉවරයි, මහින්ද රනිල් මෛත්‍රීපාල සමග රට හදන්න බැහැ කියල.

සමහර දේශපාලන පක්ෂ වල වලං හොදන අය ගෝඨභය කෙනෙක් ජනාධිපතිවරණයට ගේන්න හදනවා. ජනාධිපතිවරණයට ගෝඨාභය එනවට කව්රු බය වුණත් ජවිපෙ බය වෙන්නේ නැහැ. අපි ජේ ආර් ට වත් බව වුණේ නැහැ. ගෝඨාභයට කොහොමටත් බව නැහැ. එයා යුද්ධයට බයේ රට පැනල ගිය කෙනා. ජනතාවාදී ආණ්ඩුවක් හදන්න කිසිම කෙනෙකුට තනියෙන් කරන්න බැහැ. අපිට තනියෙන් එය කරන්න පුළුවන් නම් අපි කරල ඉවරයි. ආණ්ඩුවක් හදන්න බහුතරයේ කැමැත්ත අවශ්‍යයි. ඒ සදහා අපේ බල මණ්ඩල ශක්තිමත් කිරීම අවශ්‍යයි.

– ජයකාන්ත ලිනගේ