දිස්ත්‍රීක් නායකත්වයට එජාප ඇමතිවරු ප්‍රසිද්ධියේ ගැටෙති !

දිස්ත්‍රීක් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරු පත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අතර බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. ඉදිරි මහ මැතිවරණයේදී පරාජයවීමේ අවධානමකට ලක්ව සිටින ඇතැම් එජාප ඇමතිවරුන් තමන්ව දිස්ත්‍රීක් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවල සභාපති ලෙස පත්කරන්නැයි එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කිරීම මෙම අර්බුදයට හේතුවී ඇතැයි එම ආරංචිමාර්ග කියා සිටියි.

එම තත්වය තුල විෂය බාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් දිස්ත්‍රීක් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරු ලෙස මෙතෙක් කිසිවකුගේ නමක් සහතික කර දිස්ත්‍රීක් ලේකම්වරුන් වෙත යොමුකර නොමැති බවත් ඔහු පක්ෂ නායකයාගේ නිර්දේශය ලැබෙන තෙක් බලසිටින බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ජාතික මැතිවරණ කිහිපයක් මේ වසරේ පැවැත්වීමට නියමිත බැවින් සෑම දිස්ත්‍රීක්කයකම සංවර්ධන කමිටු වල සභාපතිවරු ලෙස දිස්ත්‍රීක්කය නියෝජනය කරන එජාප ප්‍රබලයා ම නම් කරන්නැයි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. ඔවුන් එවැනි ඉල්ලීමක් කර ඇත්තේ සාමාන්‍ය අයකු සංවර්ධන කමිටුවල සභාපතිවරුන් ලෙස පත්කළ අවස්ථාවලදී රජයේ නිලධාරීන් එවැනි සභාපතිවරුන් මායිම් නොකරන බව පෙන්වා දෙමිනි.