දයාසිරි කියන්නේ කවුද? - දයාසිරි ජයසේකරගේ කතා බොරු බව ඩිලාන් නැවත කියයි - (video)

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙතෙක් නිශ්චිත තීන්දුවකට පැමිණ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඇතැමුන් අපේක්ෂකත්වය පිළිබඳ විවිධ කතා සිදුකළද ඒවා සියල්ල ඔවුන්ගේ පෞද්ගලික අදහස් මිස නිල ප්‍රකාශ නොවන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

කෙසේවෙතත් දැනට යෝජනා වී ඇති සන්ධානය ගොඩනැගෙන අතර මැතිවරණයට ඉදිරිපත්වන්නේද එක් අපේක්ෂකයෙකු බව ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණි.

ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රකාශය දයාසිරි ජයසේකර නම් වූ නීතිඥවරයාගේ පෞද්ගලික මතය මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකමවරයාගේ ප්‍රකාශයක් නොවන බවයි.

එමෙන්ම මෙහිදී වැඩිම බලපෑමක් කළ හැක්කේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බව එස්. බී.දිසානායක මහතා කියාසිටියේය.