බහුතරේ තියෙනවා කියලා අපි කිව්වෙ නෑ. ගෝඨා ගැනත් තීන්දුවක් නෑ. අපේක්ෂකයා දාන්නේ ජනපති එක්ක කතා කරලා - මහින්ද රාජපක්ෂ

අයවැය පරාජයට පත් කිරීම සඳහා තමන්ට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති බවක් තම පාර්ශ්වය කිසිවිටක ප්‍රකාශ නොකළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බහුතර බලයක් ලබා ගැනීමට උත්සාහ දරන බව පමණක් තමන් ප්‍රකාශ කළ බව පැවසූ විපක්ෂ නායකවරයා කෙසේවෙතත් අයවැයෙන් තුනෙන් එකක් පරාජය කිරීමට තමන්ට හැකි වූ බවයි සඳහන් කළේ.
ඒ අනුව වැය ශීර්ෂ දෙකක් පරාජය කර ආණ්ඩුවට රතු එළියක් පෙන්වීමට තමන් සමත් වූ බවත් ඒ මහතා පැවසීය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ඇතුළු සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තමන් ඉදිරිපත් කරන්නේ දිනන අපේක්ෂකයා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.