අලුත් අවුරුද්දෙන් පසු මධුෂ් ලංකාවට !

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කුප්‍රකට පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධුෂ්’ එරටින් පිටුවහල් කිරීම එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදුවනු ඇති බව මෙරට ආරක්ෂක අංශ ආරංචි මාර්ගයන් සඳහන් කළේය.
තමාව ශ්‍රී  ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මධුෂ් විසින් ඩුබායි අධිකරණයට අභියාචනයක් මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර එය මේ මස තෙවැනි සතියේ නැවත විභාගයට ගැනීමට නියමිතව ඇති නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

එම අභියාචනාව මඟින් මාකඳුරේ මධුෂ් දන්වා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හැඳින්වුවද ඩුබායි රාජ්‍යයේදී තමන් කිසිදු මත්ද්‍රව්‍ය චෝදනාවකට වැරැදිකරුවකු වී නොමැති බවයි. තමාව ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් තමාගේ ඩුබායි රාජ්‍යයේ තිබෙන සියලු වත්කම් තමාට අහිමි වන බවද ඔහු සිය අභියාචනාව මඟින් දන්වා ඇත.

මෙම අභියාචනාව සම්බන්ධයෙන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වනවිට අධ්‍යයනයක නිරත වන බවත් එකී ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් මධුෂ් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කරමින් සිටින බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මධුෂ් මෙරටට ගෙන්වා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ප්‍රමුඛ කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ලිපියක්ද රැගෙන ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගියහ.

එරට ජනාධිපතිවරයාට භාරදීම සඳහා රැගෙන ගිය එම ලිපියෙහි මාකඳුරේ මධුෂ් ප්‍රමුඛ අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් එරට ගුවන්තොටුපොළෙන් ඍජුවම මෙරටට එවන ලෙසට මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කර ඇති බවද ආරංචි මාර්ගයන් කියා සිටී.

චාමර අමරසූරිය
මව්බිම
gossip lanka