මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය කරමින් විගණකාධිපතිවරයා ඒ පිළිබඳ සිය වාර්තාව නිකුත් කර ඇත.

නිසි අයුරින් කසළ කළමනාකරණය නොකිරීමෙන් නගර සභාවට සිදුවූ අලාභයට නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන් වගකිව යුතු බව ද කුණු කන්ද නායයෑමෙන් අගතියට පත් පුද්ගලයන් වෙත වන්දි මුදල් ලබාදීමේදී විiාත්මක හා පිළිගත් ක‍්‍රමවේදයක් භාවිත නොකිරීම නිසා රජයට දැරීමට සිදුවිය හැකි අමතර වැය බර පිළිබඳව ද අදාළ නිලධාරීන් වගකිව යුතු බව ද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් නිගමනය කර ඇත.

 කසළ කළමනාකරණයේදී නගර සභාව විසින් අනුගමනය කර ඇති අකාර්යක්‍ෂම සහ වගකීම් රහිත ක‍්‍රියාමාර්ග දෝෂදර්ශනයට ලක්කරමින් විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා විසින් මෙම විශේෂ වාර්තාව නිකුත් කර ඇත.

 මීතොටමුල්ල කසළ කන්ද නාය ගොස් පුද්ගල මරණ තිස් දෙකක් සිදු වී පසුගිය 14 වැනිදාට වසර දෙකකි. 2017 අපේ‍්‍රල් 14 වැනිදා මෙම කසළ කන්ද නාය ගියේය.

 මේ සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් විශේෂ විගණනයක් සිදුකළ අතර එහි වාර්තාවේ මෙසේ ද දැක්වේ.

 කසළ කළමනාකරණය සඳහා අවශ්‍ය වාහන මිලදී ගැනීමට 2010 වසරේ සිට කොළඹ මහනගර සභාවට වාර්ෂිකව අයවැයෙන් මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත. එහෙත් සභාවට අවශ්‍ය වාහන මිලදී නොගෙන එම මුදලින් එකම ආයතනයකින් කුලී පදනම මත වාහන ලබාගෙන ඇත.

 කොළඹ නගරයේ දින පහක කසළ බැහැර කිරීම සඳහා පුද්ගලික සමාගම් දෙකක් සමඟ නගර සභාව 2015 සිට ගිවිසුම්ගතව ඇති අතර ඒ සඳහා සම්පූර්ණ මුදල රුපියල් පන්සිය තිස් හතර කෝටි අනූ තුන් ලක්‍ෂ හැත්තෑ තුන්දහසක් බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

 මහ නගර සභා මිල ගණන් සමඟ මෙම පුද්ගලික ආයතනවල මිල ගණන් සැසඳීමේදී මහ නගර සභාව මිල ගණන්වලට වඩා සියයට අටේ සිට සියයට පනස් තුන දක්වා ප‍්‍රමාණයකින් එම පුද්ගලික ආයතනවල මිල ගණන් වැඩි වී ඇතැයි ද විගණන වාර්තාවේ දැක්වේ.

 ටෙන්ඩර් ක‍්‍රමවේදයේදී ලංසු විවෘත කිරීමේ කමිටුවක් පත්කර නැති අතර ලංසුකරුවන් හෝ නියෝජිතයන් ඉදිරිපිටදී ලංසු විවෘත කර ඇති බවට සාක්‍ෂි නැතැයි ද සඳහන්ය.

 කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කිරීමට දින තිහකට පෙර එම කොන්ත‍්‍රාත්තුවේ සඳහන් වාහන සහ යන්ත්‍රෝපකරණ නගර ශාලාව වෙත ගෙන්වා ප‍්‍රදර්ශනය කළ යුතුය. එහෙත් අදාළ ගිවිසුමට එවැනි කොන්දේසියක් ඇතුළත් කර නැත.

 බලධාරීන් විසින් නිසි අවධානයක් යොමු නොකිරීම නිසා සහ නිසි පිළියම් නොයෙදීම නිසා කසළ කන්දෙහි උස මීටර් 48.5 ක් (අඩි 159.12 ක්) දක්වා ව්‍යාප්තව තිබූ බව ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

 බැහැර කළ කසළ තුනී කිරීම සඳහා නගර සභාව විසින් වාහන වැඩි ප‍්‍රතිශතයක් ලබාගෙන ඇත්තේ කුලී පදනම මත බාහිර පාර්ශ්වයන්ගෙනි.

 කසළ අංගනයේ සේවයේ යෙදවීම සඳහා 2010 වසරේ සිට 2016 දක්වා ලබාගෙන ඇති වාහනවල කුලී මුදල රුපියල් හැට අට කෝටි දොළොස් ලක්‍ෂ පනස් හය දහසකි.

 සභාව විසින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා එක් පුද්ගලික සමාගමකින් වාහන කුලියට ගෙන ඇති අතර 2010 සිට 2016 දක්වා කුලී වශයෙන් රුපියල් හැට කෝටි හැට පන් ලක්‍ෂයක මුදලක් එම සමාගමට ගෙවා ඇත. අදාළ සමාගම වාහන කුලියට දෙන ආයතනයක් ලෙස සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූ සමාගමක් බව ද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

 අපද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා මෙම සමාගම මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත‍්‍රයක් ලබාගෙන ද නැත.

 මීතොටමුල්ල අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු, අධ්‍යක්‍ෂ, තාක්‍ෂණ නිලධාරීන් ඇතුළු නිලධාරීන් ගණනාවක් සේවයේ යෙදී සිටිය ද මෙම කසළ අංගනයේ පැවති අවදානම පිළිබඳ කිසිදු පරීක්‍ෂණයක් හෝ වාර්තාවක් ඔවුන් නගර සභාව වෙත ඉදිරිපත් කර නැතැයි ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

 කසළ කන්ද නායයෑමේ අවදානමක් ඇතැයි මාස දහයකට පෙර පේරාදෙණිය විශ්වවිiාලය පරිසර ඉංජිනේරු විiාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු අනතුරු අඟවා තිබුණ ද ඒ පිළිබඳ නගර සභා නිලධාරීන් අවධානය යොමු කර නොතිබූ බව ද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ දක්වා තිබේ.

 මීතොටමුල්ල කසළ කන්දේ කසළ තුනී කිරීම සඳහා පස් මිශ‍්‍ර කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පස් එම භූමියේ ගොඩගසා ඇති බවත් එම පස් පරීක්‍ෂා කරද්දී අනාවරණය වූයේ ඒවා සියයට පනහකට වඩා වැඩි ප‍්‍රමාණයක් ගොඩනැඟිලි කඩා ඉවත් කිරීමේදී අපද්‍රව්‍ය ලෙස බැහැර කරන කොන්ක‍්‍රීට් සිමෙන්ති ආශ‍්‍රිත ද්‍රව්‍ය සමඟ මිශ‍්‍ර වූ පස් බව යැයි ද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

 කසළ කන්ද නායගිය පසු ජපාන විශේෂඥයකු විසින් ශ‍්‍රී ලංකා රජයට ලබා දී තිබූ විශේෂඥ වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කර නැතැයි ද පවසන විගණකාධිපතිවරයා තම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විගණනයට ද එම වාර්තාව ඉදිරිපත් කර නැතැයි ද සඳහන් කර ඇත. මෙම විශේෂඥ වාර්තාවේ නිර්දේශ වහා ක‍්‍රියාත්මක කළ යුතු බව ද විගණකාධිපතිවරයා පැවසීය.

දිවයින