නව අගවිනිසුරු පත් කිරීම 'දේශපාලන අර්බුදයක්' වන ලකුණු !

අගවිනිසුරු ලෙස කටයුතු කරන ලද වත්මන් අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ සේවා කාලය මේ මස 28 වැනිදා අවසන් වේ. ඒ ඔහුගේ වයස 65 සම්පූර්ණ වීම හේතුවෙනි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 12 වෙනිදා මෙරට 46 වන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන් නලින් පෙරේරා මහතා මෙරට අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදුන් අගවිනිසුරුවරයෙක් ද වේ.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඉකුත් නොවැම්බර් මස 10 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් විභාගයේ මුලසුන හොබවමින් එම ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරමින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව නිසාවෙනි.

කෙසේවුවද ඔහුගේ විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වන අගවිනිසුරු ධුරය සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ඉදිරි සති කිහිපය තුලදී ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත නිර්දේශ කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුරයට අදාල වසර පහක සේවා කාලය ආරම්භවන්නේ කවදා සිටද ? 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අතිශයින් වැදගත් තීන්දු කිහිපයක් ඉදිරි මාස කිහිපය තුල ශ්‍රේෂ්ඨාධිකරණය තුල විභාග වීමට නියමිතව ඇති තත්වයක් තුල පත් කිරීමට නියමිත අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්ව ඇත.

සුදුස්සන් කවුද ?

ජනාධිපතිවරයා විසින් නිර්දේශ කිරීමට සිටින පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතායි. ඔහු ලබන දෙසැම්බර් 02 වැනිදා වනවිට නීතිපතිධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත වේ. ඒ වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙනි.

ඔහු අගවිනිසුරු තනතුරට පත්වුවහොත් වසර පහ හමාරක කාලයක් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබේ.

මීට අමතරව වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතරින් බුවනෙක අළුවිහාරේ, සිසිර ආබෘෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුවරුන් ද බොහෝදුරට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ඇතැයි වාර්තා වේ.

 මින් බුවනෙක අළුවිහාරේ මහතාට වයස අවුරුදු 65 සම්පූර්ණ වීම සඳහා තවත් වසර දෙක හමාරක් තිබෙන අතර සිසිර ආබෘෘ මහතාට තවත් වසර තුන හමාරක් තිබේ.

ජනාධිපතිවරයා විසින් සිය නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් ඉදිරි කාලය තුළදී නව අගවිනිසුරුවරයා පත් කරනු ඇත.