එජාප - පොහොට්ටු අභ්‍යන්තර ගැටුම් මැද හදිසි ජනාධිපතිවරයක් !

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වෙමින් තිබෙන මේ අවස්ථාවේදී වහාම ජනාධිපතිවරණයක් කැඳවීම කෙරෙහි ජනාධිපති උපදේශකයින්ගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද යන කාරණය සම්බන්ධයෙන් එම පක්ෂයේ නායකයින් අතර බරපතල අභ්‍යන්තර සාකච්ජා සිදුවෙමින් පවතින අතර එය මේවනවිට අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර දැඩි වාචික සංග්‍රාමයක් බවට පෙරළි තිබේ.

එසේම, ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම සඳහා බලාපොරොත්තුව සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවේදී නඩු පැවරීම හා ඒ අනුව ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධ කටයුතු පමාවීම හේතුවෙන් 'පොහොට්ටු' පක්ෂයද බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි.

දේශපාලනික වශයෙන් ලැබී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන හදිසි ජනාධිපතිවරණයට යායුතු බව ජනාධිපති උපදේශකයින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

එජාපයට එරෙහි කුමන්ත්‍රණයක් ! - අජිත් පෙරේරා අනතුරු හඟවයි !!

මේ අතර කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මේ දිනවල කුමන්ත්‍රණයක් සිදු වෙමින් තිබෙන බවයි.

අද වන විට රට තුළ ඇතිවෙමින් පවතින ආර්ථික ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා ඇතැම් පිරිස් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මෙය සිදුකරන බව ඔහු කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරන අතර එහි කිසිදු වෙනසක් සිදු නොවන බවද ඔහු සඳහන් කරයි.

සිදුවිය හැකි එකම දෙය නම් ජනාධිපතිවරණයක් කැඳවීම පමණකැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.